නිවැරදි ක්‍රමයට දෙවියන්ට බාර වෙන්නේ මෙහෙමයි | Gurukam.net - Gurukam.Net

Tuesday, April 21, 2020

නිවැරදි ක්‍රමයට දෙවියන්ට බාර වෙන්නේ මෙහෙමයි | Gurukam.net



බාරවීම යනු පුරාණයේ සිට විශේෂයෙන් ම සිංහල බෞද්ධ ජනතාව අතර දැඩි විශ්වාසය මත පවතින ජන ඇදහීම් හා බැඳුන චාරිත්‍රයක්‌ මෙන්ම ජ්‍යොතිෂ විද්‍යාවේ එන එක්‌තරා ප්‍රතිකර්ම ක්‍රමයක්‌

* එම ප්‍රතිකර්මය හෙවත් දෙවියන්ට බාරවීමෙන් අපේ අරමුණු ඉටුකර ගත හැකිද?

දෙවියන්ට බාර වීම යනු අප දෙවියන් සමඟ කරන ගනුදෙනුවකි. මාගේ මේ කාරණය ඉටුකර දුනහොත් ඔබ වහන්සේට ……. පූජාකර, සිදුකර පිං අනුමෝදන් කරනවා” යනුවෙන් දෙවියන් ඉදිරියේ දිව්රා පොරොන්දු වීම බාර වීමයි.

මේ ආකාරයෙන් තම සාධාරණ, යහපත් බලාපොරොත්තුවක්‌ ඉටුකර ගැනීම සඳහා දෙවියන්ට කන්නලව් කර භක්‌තිමත්ව ඉල්ලා සිටිමින් වන්නා වූ බාරයකින් අපගේ බලාපොරොත්තු ඉටුවීමට අවශ්‍ය පසුබිම සැකසීම සත්‍යයකි.

* ජ්‍යොතිෂයේදී ජන්මියකු වෙත පැමිණෙන අපල කාල සීමාවන් සපල කර ගැනීමට පිළියමක්‌ වශයෙන් දෙවියන්ට බාර වීම අද සුලබ සිද්ධියක්‌. මෙය කොතරම් දුරට සාර්ථකද?

අපල කාලයක්‌ ලෙස හඳුන්වන්නේ කවරෙකු වුවද පෙර ආත්මයේ සිදුකළ අකුසල් සඳහා වන්දි ගෙවිය යුතු කාලයයි. එම කාලය උදාවීමත් සමඟ අදාළ පුද්ගලයාට විවිධ දුක්‌ඛ දෝමනස්‌සයන්ට මුහුණ දීමට සිදුවිය හැකිය.

එම අහිතකර තත්ත්වය හෙවත් ග්‍රහ අපල මැඩ පවත්වා ගත හැක්‌කේ කුමන දෙවියන්ට බාරවීමෙන්ද යන්න අපේ පැරැණි සෘෂිවරුන් පෙන්වා දී ඇත. ඒ අනුව ඊෂ්වර දෙවියන්ට බාර වීමෙන් රවි අපලයද, සඳු – සමන් දෙවියන්, කුජ – කතරගම, බුධ – දැඩිමුන්ඩ, ගුරු – මහා බ්‍රාහ්මයා, සිකුරු – පත්තිනි, ශනි – විෂ්ණු, කේතු – කතරගම, රාහු – සූනියම් වශයෙන් බාරවීමෙන් ග්‍රහ අපල මඟහැර ගත හැකිය.

* මීට අමතරව අපට දෙවියන් වෙත බාරවීමට හැකි අවස්‌ථා සඳහන් කළොත් ?

අධ්‍යාපනයේ නියෑළෙන දරුවකුගේ එම කටයුතු සාර්ථක කර ගැනීමට ගණ දෙවියන් සහ සරස්‌වතී දේවිය, විවාහය හෝ දරුඵල සම්බන්ධයෙන් පත්තිනි මෑණියන්ට, වෙළෙඳ ව්‍යාපාර, රැකී රක්‍ෂා දියුණුවට කතරගම දෙවියන්, සතුරු කරදර සඳහා භද්‍රකාලි මෑණියන් වැනි දෙවිවරුන්ගෙන් පිහිට ලබා ගත හැකියි.

 අදාළ කාරණය ජ්‍යොතිෂවේදියකු සමඟÊහෝ ගුප්ත විද්‍යාවේදියකු සමඟÊසාකච්ඡා කර කරුණු අවබෝධ කරගෙන පිහිට පැතීම සාර්ථකම ක්‍රමයයි.

* දෙවියන් සඳහා බාරවීමට සුදුසුම ද්‍රව්‍ය මොනවාද?

දෙවියන් අපෙන් බලාපොරොත්තු වන්නේ පිං පමණකි. කුසල් රැස්‌ කර උන්වහන්සේලාට පිං අනුමෝදන් කිරීම තුළ අපට බොහෝ සෙත සලසා ගත හැකිය. එහෙත් පිං රැස්‌ කිරීමේදී අප උන්වහන්සේලාට අයත් පාට වලින් මල්, කතරගම දෙවියන්ට රතු මල්, විෂ්ණු දෙවියන්ට නිල් මල් හා පහන්, සුවඳ දුම් පූජා කිරීම ප්‍රමාණවත් ය.

පූජා වට්‌ටි තබන්නේ නම් පිරිසිදුÊනැවුම් පලතුරු සුවඳ ආඝ්‍රාණය කර ගත හැකි පරිදි පූජා කිරීම සෑහේ. ඔබගේ කටයුතු සපල වූ දිනක අදාළ දෙවොලට තිරයක්‌, පහනක්‌ දේවාලයේ දියුණුවට පඬුරක්‌ ආදී වශයෙන් හැකි පමණින් ලබා දීම ප්‍රමාණවත් ය. එහෙත් මිනිසුන් මුලා කරන කපු මහත්වරුන්ගේ සූරාකෑම්වලට හසු නොවීමට වගබලා ගන්න.

* කෙනෙකු වෙනුවෙන් තවත් කෙනෙකුට බාරයක්‌ විය හැකිද?

ඔව්. රෝගියකුගේ සුවපත් භාවය අපේක්‍ෂා කරමින් අපි බෝධිපූජා පවත්වා බාරවන අවස්‌ථාවන්ට අදාළ රෝගියා ගෙන යැමට නොහැකිය.

එවිට අප බාර වන්නේ ඔහු හෝ ඇය සුව වූ පසු ඔහු හෝ ඇය සමඟ විත් බාරය නිදහස්‌ කරන ආකාරයටය. එහි කිසිදු ගැටලුවක්‌ නැත.

මීට අමතරව අපට යම් කාරණයක්‌ උදෙසා පොදු වශයෙන් ද බාර වීමට හැකියාව තිබේ. නියඟය දුරු වී වැස්‌ස ලැබීම, වසංගත රෝග පැතිරීම වැළැක්‌වීම ආදිය එවැනි අවස්‌ථාවන්ය. කවුරුන් කෙසේ බාර වුවද තම කාරණය ඉටු වූ පසු එය ඔප්පු කිරීම අනිවාර්යයෙන් ම සිදුවිය යුත්තකි.

* බාරයක්‌ ඔප්පු කිරීමට නොහැකි වීමෙන් ලැබෙන ප්‍රතිඵල කුමක්‌ විය හැකිද?

තම කාරණය ඉටු වූ පසු දෙවියන් වෙනුවෙන් වූ බාරය නිදහස්‌ නොකොට අමතක කර දැමීම හෝ මඟ හැර සිටීමෙන් දෙවියන්ගේ උදහසට ලක්‌ විය හැකිය.

එයින් තමා පෙර සිටි දුක්‌ත අවස්‌ථාවට වඩා වැඩි පීඩනයකට පත්වීමේ හැකියාව ඇතිවීම නොවැළැක්‌විය හැකි තත්ත්වයකි. එබැවින් කුමන කාරණයක්‌ සඳහා වුවද සිදු වූ බාරය ඒ ආකාරයෙන් ම ඔප්පු කිරීමට වගබලා ගත යුතුය. සත්‍යවාදී නොවන පුද්ගලයාට දෙවියන්ගේ පිහිට නොලැබෙන බව මතක තබා ගත යුතු කාරණයකි.

* පූජනීය ස්‌ථානයකදී බාර වී එම පඬුර නිවාසවලට ගෙන ඒමේ වරදක්‌ තිබේද?

එකී පඬුර නිවසට ගෙනත් තබාගෙන එය නිදහස්‌ කරන දිනයේ අදාළ කාසිය ද නිදහස්‌ කර පිං කැටයකට දැමීම සමහරුන් පුරුද්දක්‌ වශයෙන් සිදුකරයි. එහෙත් අපගේ නිවස යනු විවිධ කිලි කුණු දෝෂ ඇති තැන් නිසා දෙවියන් වෙනුවෙන් වෙන් කළ පඬුරක්‌ පූජනීය ස්‌ථානයේ ම තිබීම වඩාත් සාර්ථක වේ. නිවසට ගෙන එනවා නම් එය බාරය ඉටුකරන දින තෙක්‌ ඉතා පිරිසිදුව තබාගත යුතුය.

* නිවැරදිව බාරයක්‌ වන්නේ කෙසේද?

තමන්ට මුහුණදීමට සිදු වූ කුමන ගැටලුව හෝ නිරාකරණය කර ගැනීම සඳහා ඔබ උපදෙස්‌ පතන ජ්‍යොතිර්වේදියා, ගුප්ත විද්‍යාවේදියාට හෝ කියන ආකාරය සැලකිල්ලට ගෙන ගතින් මෙන්ම සිතින් ද පිරිසිදුව ඔවුන් විසින් නියම කළ දෙවියන් සිටින ස්‌ථානයට යන්න. පළමුව බුදුරජාණන් වහන්සේ උදෙසා මල්, පහන්, සුවඳ දුම් පූජා කර පංචශීලය සමාදන්ව වැඳ නමස්‌කාර කර ඔබ විසින් බාරය වීමට අදහස්‌ කරන දෙවියන්ට අදාළ මල්, පහන් පූජාකර ස්‌ත්‍රොaත්‍ර ගායනා කර පිං අනුමෝදන් කර කහ දියරෙන් සෝදාගත් පඬුරක්‌ පිරිසිදු රෙදි කඩක ඔතා තමා බලාපොරොත්තු වන සහනය උන්වහන්සේට කන්නලව් කර එම බලාපොරොත්තුව ඉටු වු පසු ඔබ විසින් උන්වහන්සේට දක්‌වන උපහාරය සිහිපත් කර අදාළ රෙදිකඩේ කාසිය ගැටය තදකර දෙවොලේ ඇති නියමිත ස්‌ථානයේ එම පඬුර ගැට ගැසීමෙන් දෙවියන්ගේ දිව්‍යමය ආශිර්වාදය පිහිට ආරක්‍ෂාව නිබඳවම ඔබ වෙත ලැබෙන්නේය.

ඉටු කළ නොහැකි බාර දෙවියන් වෙනුවෙන් සිදු කිරීම අනුවන ක්‍රියාවක්‌ බව මතක තබා ගන්න.එකී ආශීර්වාදය එලෙසම ලැබීමට නම් ඔබට දෙවියන් වෙන්වෙන් ඉටු කළ හැකි බාරයක්‌ පමණක්‌ වීම ප්‍රමාණවත් ය.

උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment