කාල සර්පයෝගයට ඔබේ ජීවිතයේ ඉරණම විසඳන්න පුළුවන්ද? | Gurukam.net - Gurukam.Net

Friday, May 15, 2020

කාල සර්පයෝගයට ඔබේ ජීවිතයේ ඉරණම විසඳන්න පුළුවන්ද? | Gurukam.net


                   පසුගිය සියවසක පමණ කාලය තුලදී කාල සර්ප යෝගය පිළිබද විශාල අවධානයක් ඇතිවී තිබෙනවා.නමුත්  කාල සර්ප යෝගය පුරාණ ජෝතිෂ්‍ය ග්‍රන්ථ වල සදහන් වෙන්නේ නැහැ. ඒ මෙම යෝගය සහිත පුද්ගලයන්ගේ ගමන් මාර්ගය වරින්වර විශාල වශයෙන් වෙනස්වීම් වලට භාජනය වීම නිසා.රාහු සහ කේතු අතර සියලුම ග්‍රහයන් පිහිටීම කාල සර්ප යෝගය වශයෙන් දක්වා තිබෙනවා.

කාල සර්ප යෝග 1. කාල සර්ප 2. කාල අමිරිත යෝග වශයෙන් කොටස් දෙකකට වෙන් කරනවා. එම වෙන්කිරීම සංකීර්ණ තත්වයක් බැවින් මෙහිදී සියලුම යෝග කාල සර්ප යෝග වශයෙන් හැදින්වීමට කටයුතු කරනවා.රාහු සහ කේතු එකිනෙකින් අංශක 180කින් පිහිටන්නේ. එය ඕනෑම කෙන්දරයකට පොදු ධර්මතාවයක්. මෙම රාහුගේ සහ කේතුගේ ඇතුලත අනෙකුත් ග්‍රහයන් පිහිටීම හරහා කෙනෙකුගේ ජීවිත කාලය තුලදී විශාල වෙනස්කම් ඇතිවීමට හේතුවක් වනවා.

 කාල යනුවෙන් හදුවන්නේ කේතු වන අතර සර්ප වශයෙන් හදුන්වන්නේ රාහු ග්‍රහයායි. රාහුගේ සහ කේතුගේ මධ්‍යයේ සියලුම ග්‍රහයන් පැවතීම හරහා කාලය 'හකුලන' බව මේ යෝගය හරහා පෙන්නුම් කරනවා. කෙනෙකුගේ ජීවිත කාලය තුලදී තමන්ගේ වැඩ කටයුතු පමා කිරීමට මෙන්ම ඉක්මන් කිරීමටද මෙම යෝගය හේතු වනවා.

ලග්නයෙන් පිට කාල සර්ප යෝගය පවතිද්දී ජන්මියාගේ ශරීර සෞඛ්‍යට සිදුවන හානිය අවම වන අතර කාල සර්ප යෝගය ලග්නය එනම් පලවෙනි භාවය හරහා ක්‍රියාත්මක වීමේදී තමන්ට වරින්වර ලෙඩ රෝග වලට ලක්වීමේ හැකියාව පවතිනවා.කෙනෙකුගේ කෙන්දරයෙහි දෙවැනි භාවයේ රාහු සිට අටවැනි භාවයේ කේතු තැන්පත්වී අනෙකුත් ග්‍රහයන් තුන්වන භාවයේ සිට හත්වන භාවය දක්වා පවතිනවිට පද්මක් යෝගය සාදනවා. කාල සර්ප යෝගයක් පලවෙනි රාශිය හරහා පවතිද්දී පලවෙනි රාශියේ ගුරු පැවතීම 'මහා පද්මක් යෝගයක්' වන අතර එම රාශියේ 'බුධ ' පැවතීම සංඛ යෝගයක් වනවා, ඒ වගේම සදු හෝ සිකුරු පළමුවන රාශියේ පැවතීම 'අනන්ත' යෝගය වනවා.

මෙම යෝග ජන්මියට කාල සර්ප යෝග පැවතියත් තමන්ගේ අභිමතාර්ථ ඉෂ්ට කරගැනීමට උදවු සපයනු ලබනවා. නමුත් කුජ ලග්න ගතව පැවතියහොත් එය යහපත් නොවන අතර 'ඝාත්' හෙවත් මරණකාරක යෝගයක් වනවා.

මෙම යෝගය පවතින පුද්ගලයන් විෂ ශරීර ගතවීම් වලින් වැළකීමට වග බලාගත යුතුයි. ශනි පළමුවෙනි රාශියේ පැවතීම හරහා වාසුකී යෝගය සකසනවා. මෙයද නිතරම සිත් වේදනා ඇතිකරන යෝගයක් වනවා.

කාල සර්ප යෝගය පිහිටීම අනුව එය බලපාන කාලය මෙන්ම එම යෝගයෙන් ගැලවීමට ගත යුතු පියවරද වෙනස් වනවා. වෛදික ශාස්ත්‍ර වලට අනුව 108 ක් වූ නාගයන් සිටින අතර ඒ එක එක නාගයාට පිළිවෙත් කිරීම හරහා කාල සර්ප යෝගයේ ගැටළු අවමකරගත හැකි වනවා. රාහුගේ සහ කේතුගේ පිහිටීම අනුව ඒ ඒ කාල සර්ප යෝගය පහත පරිදි වනවා.

 රාහු ලග්නයේ කේතු හත්වන්නේදී - අනන්ත යෝග - ගැටළු බහුලය. වයස 22 දක්වා නිරන්තරයෙන් තම කටයුතු වලට බාධා සිදු වෙයි

 රාහු හත්වැන්නේ කේතු ලග්නයේ - තක්ෂක් යෝග - මානසික පීඩා මෙන්ම මොළයේ ගැටළු වරින්වර පැමිණෙයි. මෙයද වයස 22 දක්වාම ගැටළු ඇති කරයි.

රාහු දෙවැන්නේ කේතු අට වැන්නේ - කුලික යෝග - වයස අවුරුදු 30 දක්වා ගැටළු ඇති කරයි. විශේෂයෙන් වයස 30 අනතුරුව හොද ගෙයක් හොද පවුල් ජීවිතයක් ගත කිරීමට පෙළබෙයි. හදි හූනියම් වලට ලක්වීමේ හැකියාව සහිතය.

රාහු අටවැන්නේ කේතු දෙවැන්නේ - කර්තෝතක් යෝගය - වයස අවුරුදු 30 දක්වාම ගැටළු. නිරන්තර මානසික පීඩා සහ බඩට පහළ ප්‍රදේශයේ ගැටළු. ජලයෙන් හානි.
රාහු තුන්වැන්නේ කේතු නව වැන්නේ - වාසුකී යෝගය - වයස අවුරුදු 33 දක්වාම බලපායි. 33 අනතුරුව අතම ශක්තිය වර්ධනයවී වැඩ කටයුතු සාර්ථක වෙයි.

රාහු නව වැන්නේ කේතු තුන් වැන්නේ - සංඛචාර යෝගය - වයස 33 දක්වාම පවතියි. තමන්ගේ සහෝදරයින්ගෙන් ගැටළු ඇතිවෙයි. පවතින ධර්මතා බිද දමා නව ධර්මතා ඇති කිරීමට උත්සාහ කරයි. ප්‍රදේශ රැසකට සංචාරය කරයි.

රාහු හතරවැන්නේ කේතු දහ වැන්නේ - සංඛ යෝගය - වයස 36 දක්වා ක්‍රියාත්මක වෙයි. නිවාස මාරුවීම් බහුලය. උපයන ධනය පිළිබද කළකිරෙයි.
රාහු දහ වැන්නේ කේතු හතර වැන්නේ - පතක් යෝගය - වයස 36 දක්වාම ගැටළු ඇති කරයි. මිනිසුන් වෙනුවෙන් බහුලව සේවයක් කරයි. තමන් උපන් බිමෙන් පිටවීමට හේතු ඇතිවෙයි.

රාහු පස්වැන්නේ කේතු එකළොස් වැන්නේ - පද්ම යෝගය - වයස 42 දක්වා වරින්වර ගැටළු ඇති කරයි.

රාහු එකළොස් වැන්නේ කේතු පස්වැන්නේ - විසිදර් යෝගය - වයස 42 දක්වා ක්‍රියාත්මක වෙයි. සාර්ථක ව්‍යාපාර වල නියැලීමට හැකියාව සහිතය.

රාහු හය වැන්නෙහි කේතු දොළොස් වැන්නෙහි - මහා පද්ම යෝගය - වයස අවුරුදු 48 දක්වාම ක්‍රියාත්මක වෙයි. නෛතික ගැටළු මතුවිය හැකිය. අධ්‍යාත්මික කටයුතු වලට වැඩි නැබුරුවක් පෙන්නුම් කරයි.

රාහු දොළොස්වන්නේ කේතු හය වැන්නේ - ශේෂ නාග යෝගය - වයස 48 දක්වාම ගැටළු ඇත. සිරගත වීමට පවා ඉඩකඩ සහිතය. මිතුරන්ගෙන් ප්‍රවේශම් විය යුතුය.


ඉහත සදහන් කළ එක් එක් කාල සර්ප යෝගය සදහා පවතින පිළියම් එකිනෙකට වෙනස් වනවා. එය ඔබ ඔබේ ජෝතිෂ්‍ය වේදියාගෙන් දැනගත යුතු වනවා. නමුත් බොහෝ දෙනෙකුට සරලවම කළ හැකි ප්‍රතිකර්මයක් වන්නේ ශිව දෙවියන් නැමදීමයි. ශිව දෙවියන් යනු සර්ප ලෝකය පාලනය කිරීමේ හැකියාව පවතින දේවතාවා.

 ඒ නිසා ශිව දෙවියන් පිදීම හෝ 'මහා ම්රිත්යුන්ජ මන්ත්‍රය' පැවසීම හරහා කාල සර්ප යෝගය හරහා වන ගැටළු වලට තරමක් සහනයක් ලබා ගත හැකි වනවා. නමුත් වඩාත් යහපත් කාර්යය වන්නේ ඔබ ඔබගේ ජෝතිෂ්‍යවේදියා හමුවී තමන්ට ගැලපෙන නිවැරදිම ප්‍රතිකර්මය ලබාගෙන ඒ අනුව කටයුතු කිරීමයි.
ලෝකයේ ඇති විශිෂ්ට පුද්ගලයන්ට කාල සර්ප යෝගය පැවත තිබෙනවා. නමුත් ඔවුන් උත්සාහ සහ උනන්දුව හරහා තමන්ගේ දෛවය තුළින්ම ඉහළට මතුවී තිබෙනවා.


 ඔබේ කේන්දරයේ කාල සර්ප යෝගය පවතිනවානම් නිසි ප්‍රතිකර්ම සහ ජිවන අභ්‍යාස ක්‍රියාවලියක් හරහා ඉහළටම මතුවීමේ හැකියාව පවතින බව අමතක කරන්න එපා.
කාල සර්ප යෝගය යනු විශාල ගැටළු ඇති කරන්නක් නොව එය තමන්ගේ උත්සාහයෙන් වෙනස් කරගනිමින් වඩාත් යහපත් ජිවිතයකට මග කියන්නක් වනවා.

No comments:

Post a Comment