මෙතෙක් නොදත් කිලි ගැන ඇත්ත දැනගන්න | Gurukam.net - Gurukam.Net

Wednesday, August 12, 2020

මෙතෙක් නොදත් කිලි ගැන ඇත්ත දැනගන්න | Gurukam.net


සමහර දේවාල්වලට කිලි සහිත අයට පමණක්‌ මෙන්ම සමස්‌තයක්‌ වශයෙන් කාන්තාවන්ටද ඇතුළුවීම තහනම් කර තිබෙනවා.කිල්ල කියන්නේ අපවිත්‍ර බව යයි කෙටියෙන් හඳුන්වන්න පුළුවන්. නමුත් ජ්‍යෙතිෂයේ සහ වෙනත් යන්ත්‍ර මන්ත්‍ර වලදී කතා කරන කිල්ල ඊටත් එහා ගිය කරුණක්‌ . 

මේ කිල්ල ඉන්දියානු සමාජයේ තදින් ප්‍රචලිත වී තිබෙන අතර විශේෂයෙන්ම කාන්තාවගේ ජීවිතය සහ බැඳී පවතිනවා. ඒ මළ කිල්ල සහ රෝග කිල්ල හැර අන් සියලු කිලි ඇගේ සිරුරේ වන ස්‌වභාවික සංසිද්ධියක්‌ හා බැඳී පැවතීමයි. ලොව සමහරක්‌ ආගම් කිලි සංකල්පය පිළිගන්නා අතර බුදු දහම එය ප්‍රතික්‌ෂේප කරනවා. 

අපේ රටේද සමහර ආගමික කටයුතු වලදී සහ දේව පූජා බලි තොවිල් කටයුතුවලදී මේ ගැන බෙහෙවින් සැලකිලිමත් වනවා. බටහිර ලෝකය මෙය ප්‍රතික්‌ෂේප කරනවා. එහි දැරියක්‌ මල්වර වීම සහ කාන්තාවකගේ ඔසප්වීම ස්‌වභාවික සංසිද්ධියක්‌ ලෙස සැලකෙනවා. 

නමුත් මරණයකදී ඔවුන් මෘත ශරීරය නිවස තුළ තබා ගන්නෙ නැහැ. ඉස්‌ලාම් භක්‌තිකයන්ද මරණයකදී පැය 24 ක්‌ ඇතුළත අවසන් කටයුතු කිරීමෙන් විෂ බීජ පැතිරීම වළක්‌වනවා. එවිට කිලි ඇතිවීම වළකිනවා.අපේ සමාජයේ ප්‍රධාන වශයෙන් කිලි 3 ක්‌ ගැන සඳහන් වනවා. වැදුම්ගෙයි කිල්ල , කොටහලු කිල්ල සහ මළ කිල්ල ඒවා අතර ප්‍රධාන වනවා. 

මෙයට අමතරව රෝග කිල්ල සහ මාස්‌කිල්ල ද සමහරු සැලකිල්ලට ගන්නවා. නමුත් මේ කිලි පවතින කාලය පිළිබඳ නිශ්චිත මතයක්‌ නැහැ. එය විවිධාකාර ලෙස එක්‌ එක්‌කෙනාට අවශ්‍ය ලෙස ක්‍රියාවේ යොදවන බවක්‌ පෙනෙන්නට තියනවා. 

සමහර දේවාලවල මෙම කිලි ඇති අයට තෙමසක්‌ යනතුරු නොපැමිණෙන ලෙස පුවරු සවි කර තිබෙනවා.

වැදුම් ගෙයි කිල්ල

මෙම කිලි තත්ත්වය දරු ප්‍රසූතිය හා බැඳී පවතින්නක්‌. මෙය දින 14 ක්‌ බලපැවැත්වෙන බව එක්‌ මතයක්‌ තවත් මතයක්‌ නම් එය තෙමසක්‌ බල පවත්වන බවයි. 
එසේ නම් අද බොහෝ දෙනෙක්‌ දරු ප්‍රසූතිය සිදු කරන්නේ රෝහල්වල බැවින් ඒවා කිලි ගාර ලෙසද සැලකිය හැකියි.

කොටහලු කිල්ල

මෙය දැරියක්‌ මල්වර වීම හා බැඳී තිබෙන කිල්ලක්‌. එය බලවත් කිල්ලක්‌ ලෙස සැලකෙන අතර මල්වර වූ දින සිට දින 21 බලපැවැත්වෙන බව කියවෙනවා. තවත් සමහරු එය මාස 3 ක්‌ බලපැවැත් වෙන බව කියනවා. 
මෙම කිලි දෝෂය නිවස ඉහළින් පියාසර කරන පක්‌ෂියකුට පවා බලපාන බව පැරණි මතයක්‌. එවැනි නිවසක දේව පූජා තොවිල් පවිල් කරන්නේ නැහැ.

මළ කිල්ල

මෙය මරණයක්‌ සමඟ බැඳී තිබෙනවා. කෙනෙක්‌ මියගිය පසු එහි කිල්ලක්‌ පවතින බව කියවෙනවා. එය තෙමසක්‌ පවතින බව එක්‌ මතයක්‌. දින 14 ක්‌ තිබෙන බව තවත් මතයක්‌ කෙනෙක්‌ මියගිය මොහොතේ සිට එකී සිරුරෙන් විෂ බීජ පිටවන බව සත්‍යයක්‌.
 එලෙසම යම් තුවාලයක්‌ ඇති කෙනෙක්‌ මළ ගෙදරකට පිවිසි විට එය වර්ධනය වන බව අත්දැකීමෙන් දුටු සත්‍යයක්‌. 
එබැවින් එවැනි දෙයක්‌ කිල්ලක්‌ ලෙස හැඳින්වීම නිවැරදියි. එයද නිවැසියන් නා පිරිසිදු වීමෙන් සහ ගේ දොර පිරිසිදු කිරීමෙන් පසුව අවසන් වෙනවා. තවද මළ ගෙදරකට ගොස්‌ නිවසට පැමිණෙන අය දෙහි බෑයක්‌ හිසේ ගා ස්‌නානය කර ගෙට ඇතුල්වීම පැරැණ්‌නන්ගේ සිරිතක්‌ මෙයින් ද සිදුකරන්නේ විෂබීජ හරණයක්‌.



මාස්‌ කිල්ල

මෙය කාන්තාවකගේ මාසික ඔසප්වීම හා බැඳී පවතිනවා. ඔසප් දින කීපය අවසානයේ දිය නෑමෙන් පසුව එය අවසන් වෙනවා. කොටහලු කිල්ල, මාස්‌කිල්ල, සහ ප්‍රසූති කිල්ල යන කිලි කාන්තාවන්ගේ සිරුරෙන් රුධිරය වහනය වීම නැත්නම් ඔසප් වීම හා බැඳී පවතිනවා

රෝග කිල්ල

මෙහිදී වසංගත රෝගයක්‌ නැත්නම් දෙවියන්ගේ ලෙඩ යෑයි හඳුන්වන ලෙඩ සැදුනු රෝගියෙකු සිටින නිවසකට ඉහත සඳහන් කිලි තිබෙන නිවසකින් කෙනෙකු පැමිණීම නවත්වනු වස්‌ අඹ කොළ වැනි කොළ වර්ගයක්‌ හෝ ගොක්‌රෑනක්‌ ඇද සංඥාවක්‌ නිකුත් කරනවා. සමහර විට එය රෝගියා විෂ බීජ වලින් ආරක්‌ෂා කිරීම සඳහා විය හැකියි.


තොවිල් පවිල් කිරීමේදී කිලි හරණය කිරීමක්‌ සිදුකරනවා. මේ සඳහා විවිධ මන්ත්‍ර සහ කෙම් ක්‍රම යොදාගන්නවා. යන්ත්‍රයක්‌ කිලි අසුවීමේදී එහි බලය නැතිවී යන බව එක්‌ මතයක්‌. දේවතාවියන්ද කාන්තාවන් බැවින් ඔවුන්ට මේ කිල්ල බලපාන්නෙ කෙසේද කියා සමහරු අසනවා.

 ඇත්තෙන්ම දෙවියන් ගේ සූක්‌ෂම ශරීරවල බහිස්‍රාවයක්‌ සිදුවන්නේ නැහැ. ඒ නිසා එම තර්කය වැදගත් වන්නේ නැහැ. සමහර නිවෙස්‌වල මේ එක කිල්ලක්‌ වත් නොමැති වුවද මිහිපිට අපායන් මෙන් වනවා. 
. එසේ නම් එවැනි ස්‌ථානවල මේ කිල්ල බලපවත්වන්නේ නැද්ද යන්න ප්‍රශ්නයක්‌?. කිලි හෝ නොකිලි තම සිරුර මෙන්ම නිවෙස්‌ ඉතා පිරිසිදුව තබා ගැනීම නම් ඉතා වැදගත් වෙනවා.
තවද සමහර දේවාලවලද අවට පරිසරය සතුන්ගේ අපවිත්‍ර ද්‍රව්‍යවලින් පිරී පවතිනවා

No comments:

Post a Comment