විවාහයට බලපාන හත්වැන්න | Gurukam.net - Gurukam.Net

Sunday, July 5, 2020

විවාහයට බලපාන හත්වැන්න | Gurukam.net


හත් වැන්නේ උච්ච ස්‌වක්‍ෂේත්‍ර බලයෙන් යුතුව ග්‍රහයන් තැන්පත්ව සිටීම වාසනාවන්ත විවාහයක්‌ සිදුවීමට ඉවහල්වන පිහිටීමකි. විවාහය සම්බන්ධ කරුණු සෙවීමේදී හත්වැන්න, හත අධිපති ග්‍රහයා හා දෘෂ්ඨි ලබන ග්‍රහයන් පිළිබඳවද සඳු ග්‍රහයාගෙන් හත් වැන්නද ප්‍රධාන වනු ඇත.

හත්වැන්නේ පාප ග්‍රහයන් සිටීමෙන් හා දැකීමෙන්ද, හත්වැන්න පාප ග්‍රහයෙකුට හිමි රාශියක්‌ වීම නිසාද, විවාහ කටයුතුවලට බාධා ඇති කෙරෙනු ඇත. රාහු ශනි 7 වැන්නේ සිටීමද, විවාහය වැළැක්‌වෙන පිහිටීමකි.

පාප ග්‍රහයන් 1 - 2 - 7 - 8 - 12 රාශිගතව අව සඳු බලයෙන් හීනව කේන්ද්‍රයෙහි ඇතොත්, විවාහ කටයුතුවලට බාධක යෙදේ. සඳු-සිකුරු හතේ සිටියදී කුජ-ශනි දෘෂ්ඨි ලැබීමද විවාහය අවුල් තත්ත්වයට පත් කිරීමට ඉවහල් වනු ඇත. ගුරු හෙවත් බ්‍රහස්‌පති ග්‍රහයාගේ දෘෂ්ඨියට ලක්‌වීමෙන් මෙම තත්ත්වය මග හැරෙනු ඇත. සිකුරු ග්‍රහයා හා හත් වැන්න අධිපති ග්‍රහයා මිථුන, කන්‍යා, ධනු, මීන රාශි ගතවීම, විවාහ කටයුතු එකකට වැඩියෙන් සිදු කෙරෙන ග්‍රහ තත්ත්වයකි.

 7 - 8 - 12 පාප ග්‍රහයන් සිටීම හා පාප ග්‍රහයින් ගේ දෘෂ්ඨියට ලක්‌වීම නිසාද ඒත් විවාහයකට වඩා සිදුවීමට ඉවහල් වන ග්‍රහ පිහිටීමක්‌ වනු ඇත. කුජ-කිවි යෝගව හත් වැන්නේ සිටීමද, ඉක්‌මන් විවාහයකට හේතුවේ. රාගිත භාවය අධික වීම නිසා යුග දිවි ගමන් මගට බාධක එල්ල වීමට මෙන්ම, අඹු සැමි ප්‍රශ්නවලට තුඩු දීමටද හේතුවනු ඇත. කුජ - සිකුරු ග්‍රහයින් රාශි මාරුකරගෙන පරස්‌පරව සිටීම නිසාද, කාමායික භාවය නිසා විවාහය අවුල් සහිත තත්ත්වයට පත්වීමට හේතුවනු ඇත.

හත අධිපති ග්‍රහයා හත්වැන්නෙහි හෝ නවාංශකයෙහි නීචව ඇතොත්, සිකුරු ග්‍රහයාද නීච අංශක ගතව ඇතිනම්, කාමාධික භාවය අධිකවීම නිසා තමාගේ නාමයට පළුදු ඇති කරගනු ඇත. එසේම හත අධිපති ග්‍රහයා බලවත්ව සිකුරු සමඟ යෝගවීම යහපත්ය. ලග්නාධිපති ග්‍රහයා සමඟ හත අධිපති ග්‍රහයා යෝගව ඇතොත් එයද යහපත් විවාහයක්‌ සිදුවීමට හේතු වන්නකි.

හත අධිපති ග්‍රහයා නීච - සතුරු ආදී දුබල තත්ත්වයට පත්ව ඇතත් ශුභ ග්‍රහ වීක්‍ෂණයට ලක්‌වීම නිසා යහපත් බවට පත්වේ. විවාහ කටයුතු සඵලවීමට ඉවහල් වනු ඇත. හත අධිපති ග්‍රහයා සමඟ ලග්නාධිපති ග්‍රහයා යෝගවීමද, ලග්නාධිපති ග්‍රමයා සිකුරුවී හත්වැන්නේ සිටීමද, ආලය පෙරදැරීම වාසනාවන්ත විවාහයක්‌ සිදුවීමට හේතුවන ග්‍රහ තත්ත්වයක්‌ වෙයි.

මේෂ
ලග්නයට අනුව සැලකීමේදී මේෂ ලග්නයට හත අධිපති ග්‍රහයා වන සිකුරු බල සහිතව හත් වැන්නෙහි සිටීමෙන් රජයේ හෝ පෞද්ගලික අංශයේ ආදායම් ලබන සහකරුවකු හෝ සහකාරියක ලැබීමට ඉවහල්වනු ඇත. ආලය සම්බන්ධ විවාහයකි.

වෘෂභ
වෘෂභ ලග්න හිමියන්ගේ හත අධිපති කුජ ග්‍රහයා හත්වැන්නේ බුද සහිතව යෙදීමෙන් කර්මාන්ත කටයුතු වලින් මුදල් උපයා දියුණුවීමට පත්වියහැකි සහකරුවකු හෝ සහකාරියක ලැබීමට හේතුවේ.

මිථුන
මිථුන ලග්න හිමියන්ගේ හත අධිපති ගුරු ග්‍රහයා බල සහිතව හත්වැන්නෙහි සිටීමෙන් උසස්‌ ආර්ථික මට්‌ටමක්‌ හිමිකර ගැනීමට හැකිවනු ඇත. විවාහය ප්‍රමාද වුවද වාසනාවන්ත එකක්‌ වෙයි.

කටක
කටක ලග්න හිමියන්ගේ හත අධිපති "ශනි" හෙවත් "සෙනසුරු" ග්‍රහයා බල සහිතව හත් වැන්නෙහි සිටීමෙන් සමාජ සේවා කටයුතු වල නිරතවන ආගමට ලැදි ගුණගරුක සහකරුවකු හෝ සහකාරියක ලැබීමට ඉවහල්වනු ඇත.

සිංහ
සිංහ ලග්න හිමියන්ගේ හත අධිපති ග්‍රහයා වනුයේ සෙනසුරු ග්‍රහයායි. මෙම ජන්මීන්ට බාධක මැදින් ඉදිරියට යා හැකි දැඩි ආත්ම ශක්‌තියක්‌ ඇති කෙරේ. ව්‍යාපාරික ක්‍ෂේත්‍රයෙන් උසස්‌ දියුණුවක්‌ ලැබීමට ද ඉවහල් වනු ඇත.

කන්‍යා
කන්‍යා ලග්න හිමියන්ට හත අධිපති ග්‍රහයා වනුයේ "ගුරු" හෙවත් "බ්‍රහස්‌පති" ග්‍රහයායි. දෙදෙනාගේ අෙන්‍යාන්‍ය සුහදතාවය මත යුගදිවියට මුල්වන අතර විදෙස්‌ ගමන් ද සහිතවෙයි. වාසනාවන්ත දරුවන් ලැබීමෙන් මතු ජීවිතය යහපත්වනු ඇත.

තුලා
තුලා ලග්න හිමියන්ට හත අධිපති ග්‍රහයා වනුයේ කුජ හෙවත් අඟහරු ග්‍රහයා වන අතර, පිරිමි ගති ඇති සහකාරියක්‌ ලැබීමට හේතුවේ. සහකරුද ක්‍රියාශූර භාවයෙන් යුක්‌ත අයෙක්‌වනු ඇත.

වෘශ්චික
වෘශ්චික ලග්න හිමියන්ට හත අධිපති ග්‍රහයාවන සිකුරු ග්‍රහයා උච්චාදී බලයෙන් යුතුව ඇතොත් ඉඩකඩම්, යානවාහන ලැබීමට පවා සමත්වනු ඇත. විවාහයෙන් පසුව උසස්‌ ආර්ථිකයකට හිමිකම් කීමට අවස්‌ථාව සැලසෙනු ඇත.

ධනු
ධනු ලග්න හිමියන්ට හත අධිපති ග්‍රහයා වනුයේ බුද ග්‍රහයායි. මේ අනුව උසස්‌ ගති පැවතුම් වලින් යුතුව ආර්ථික දියුණුවක්‌ ලැබීමට ඉවහල් වන පසුබිමක්‌ ඇති සහකරුවකු ලැබීමට භාග්‍යය ඇත. විවාහ සහකාරිය ලතාවකට ගමන් ගන්නා මනා පෞරුෂත්වයක්‌ ඇති තැනැත්තියකි.

මකර
මකර ලග්නයට අනුව හත අධිපති සඳු ග්‍රහයාය. බල සහිතව හත් වැන්නෙහි සිටීම නිසා උසස්‌ ආර්ථික මට්‌ටමක්‌ හිමි සහකරුවකු ලැබීමට භාග්‍යය ඇත. විවාහ සහකාරියද පාලනයෙහි දක්‍ෂතාවන් ඇති කාන්තාවක්‌වීම දියුණුවට රුකුලක්‌ වනු ඇත.

කුම්භ
කුම්භ ලග්නයට අනුව හත අධිපති ග්‍රහයා රවි ග්‍රහයා වන අතර, හත්වැන්නෙහි සිටීම නිසා මනාපෞරුෂත්වයකින් හෙබි පාලන අංශවල රැකියා වෘත්තීන්හි නියෑලී සහකාරියක්‌ ලැබීමට ඉවහල්වනු ඇත.

මීන
මීන ලග්න හිමියන්ට බුද ග්‍රහයා හත අධිපති ග්‍රහයා වනු ඇත. රාශිබල, යෝග බල සහිතව හත්වැන්නෙහි යෙදීම නිසා වාසනාවන්ත දරුවන් ලැබීමටද, ආර්ථිකය සැපවත් වීමටද හේතුවනු ඇත. හත්වැන්න හා යුගදිවිය අතර ඇති සම්බන්ධතාවය තහවුරු කර ගැනීමට මෙම කරුණු ප්‍රමාණවත් වනු ඇත.

No comments:

Post a Comment