අකුරු කියවීමේදී, ප්‍රමුඛතාවය සැරියුත් මහ රහතන් වහන්සේට දෙන්න | Gurukam.net - Gurukam.Net

Wednesday, June 3, 2020

අකුරු කියවීමේදී, ප්‍රමුඛතාවය සැරියුත් මහ රහතන් වහන්සේට දෙන්න | Gurukam.net


දරුවා නිසි වයසට පත් වූ කල දෙමාපියන්ද බොහෝ වෑයමක්‌ සහ පරිශ්‍රමයක්‌ දරනුයේ දරුවා උසස්‌ම ස්‌ථානයක්‌ කරා යොමු කරවීමේ මූලික අත්තිවාරම යෙදීමටයි. ඔබගේ ආදරණීය පුතාට - දියණියට නැකතට අකුරු කියවීමේ චාරිත්‍රය හෙවත් අත්පොත් තැබීම සිංහල චාරිත්‍ර සිරිතයි. නමුත් සිංහල බෞද්ධයන් ලාංකික වැඩි පිරිසක්‌ මේ චාරිත්‍රය නිසි ලෙස සිදු කරනවාදැයි කුකුසක්‌ පවතී. 

වත් සමහරු සමහර අංගයන් වැරැදි ආකාරයට යොදා ගනිමින් අත් පොත් තැබීම සිදු කරනු මා දැක ඇති අතරම, මේ ලිපිය මගින් බොහෝ දෙනා සිදු කරන එක්‌ කාරණාවක සත්‍යතාව පෙන්වා දීමට කැමැත්තෙමි.  අකුරු කියවීමේ චාරිත්‍රය ලෙස බොහෝ ප්‍රකටව ඇත්තේ අකුරු කියවීමට පෙර සරස්‌වතී දේවිය වෙනුවෙන් පූජාවක්‌ පැවැත්වීම හෝ ගණ දෙවියන් උදෙසා පූජාවක්‌ පැවැත්වීමය. 

එසේ නැතහොත් දෙදෙනාම උදෙසා පූජාවන් පැවැත්වීමයි. මෙය කාලාන්තරයක්‌ තිස්‌සේ අප රටේ මුල් බැස ගත් චාරිත්‍රයකි. කෙසේ වෙතත් මෙසේ වූ චාරිත්‍ර කෙරෙහි විමර්ශනයෙන් යුක්‌තව බලනු ඇත්තේ ඉතා අල්ප ප්‍රමාණයකි.

 සරස්‌වතිය සහ ගණ දෙවියන් යන දෙදෙනාම හින්දුවරුන්ගේ දෙවිවරුන්ය. ඔවුන්ට පුද පූජා පවත්වා දැණුම සහ නුවණ ලබාදෙන ලෙස කන්නලව් කිරීමද හින්දු චාරිත්‍රයකි.  දේව පුරාණයට අයත් මේ දෙවිවරු සම්බන්ධයෙන් වූ විවිධ පැරැණි පොතපත කියවීමේදී පැහැදිලි වන්නේ සරස්‌වතී දේවිය දෙන්නේ දැණුමය. 

එය බොහෝ විට පොතපත පරිශීලනයෙන් මෙන්ම ගුරුවරු ඇසුරින් ලබන දැණුමයි. ගණ දෙවියන්ගෙන් ලැබෙන්නේ කපටි නුවණයි. මේ කරුණු දෙකම බෞද්ධයන් වන අපට කවර ආකාරයෙන් ගැළපේද? දැනුම සහ නුවණ යන කරුණු මෙලොව පමණක්‌ සාර්ථක කර ගැනීමට අපට උපකාරී වේ. 

නමුත් තුන්ලෝ තිලක බුදුන් වහන්සේගේ දේශණාවට අනුව ප්‍රමුඛස්‌ථානයක්‌ ලැබෙන්නේ දැණුමට හෝ නුවණට නොව ප්‍රඥාවටය. ප්‍රඥාව මෙලොව එලොව දෙකම දිනා ගැනීමට මහෝපකාරී වේ. එසේ නොමැති නම් නිවන් අවබෝධය පිණිස අවැසි වන්නේ දැණුම හා නුවණ නොව ප්‍රඥාවයි. බුදුන් වහන්සේගෙන් හැරුණු කොට බුද්ධ ශාසනයේ ප්‍රඥාවන්තයන් අතර මුල්තැන ලැබී ඇත්තේ සැරියුත් මහ රහතන් වහන්සේටය. 

සැරියුත් තෙරණුවෝ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතරේ ප්‍රඥාවන්තයන් අතර අග්‍රශ්‍රාවක තනතුර දැරූහ. එසේ හෙයින් දැන්වත් අපේ දරුවන්ට අකුරු කියෑවීමේ මංගල්‍යයේ දී මෙතෙක්‌ කාලයක්‌ ගතානුගතිකව කරගෙන ආ සරස්‌වතී සහ ගණදෙවි පූජාවන් පසෙක තබා අකුරු කියවන නැකත යෙදී ඇති දිනට පෙරදින ළඟම ඇති පන්සලකට ගොස්‌ බුදුන් වැඳ බුද්ධ පූජා හා බෝධි පූජා පවත්වා ආශිර්වාද ගෙන අදාළ දින ශුභ මුහුර්ථ අවස්‌ථාවේ, 

මව සහ පියා විසින් දරුවා ආසන්නයට ගෙන අත්පොත් තැබීමට පෙර සැරියුත් මහ රහතන් වහන්සේගේ රූපකායක්‌ ඉදිරියේ සිට මාගේ දරුවාට සැරියුත් මහ රහතන් වහන්සේට මෙන් ප්‍රඥාව ලැබේවායි ප්‍රාර්ථනා කොට ආශිර්වාද ලබා ගන්න. මෙමගින් ඔබේ දරුවා අනාගතයේ ඔබ නොසිතනවාටත් වඩා තැනකට යාවි.දෙමාපියන් - ගුරුවරුන් - ඥාතීන් හඳුනන, ඔවුන්ට ගරු කරන පින්වත් බෝධිසත්ව දරුවෙකු වේවි. අධ්‍යාපන කඩඉම් පහසුවෙන් පසු කරාවි. 

උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment