‌ විවාහ දිවිය සාර්ථක කරන නිවැරදි මංගල නැකත | Gurukam.net - Gurukam.Net

Saturday, June 27, 2020

‌ විවාහ දිවිය සාර්ථක කරන නිවැරදි මංගල නැකත | Gurukam.net



                  මා සතු ජ්‍යෙතිෂ අත්දැකීම් මත බොහෝ දෙනකු මංගල නැකත පිළිබඳව එතරම් උනන්දුවක්‌ දක්‌වන්නේ නැත. එනම් වැඩි පිරිසක්‌ මංගල නැකතක්‌ සාදා ගැනීමට පැමිණි විට ඔවුන්ට පහසු හා අවශ්‍ය මාස හා දින යොදා ගෙන මංගල නැකත් සාදා ගැනීමට පෙළෙඹෙයි තම දියණියට හෝ පුතුට විවාහයට ගැළපෙන සහකරුවකු හෝ සහකාරියක්‌ සොයාගැනීම කොපමණ අසීරු කරුණක්‌ද? එනම් දෙදෙනාගේ කේන්දර සටහන්වල පොරොන්දම් හා ග්‍රහ ගැළපීම් හොඳින් ගළපා, දෙදෙනාගේ කැමැත්ත මත විවාහ වීමට තීරණය කළ පසු, ප්‍රථමයෙන් සිදුකරන්නේ දෙදෙනාට ගැළපෙන මංගල නැකතක්‌ සාදා ගැනීමයි. 

 බෙහෝ විට විවාහ උත්සව පැවැත්වීමට කැමති හෝටලයේ දින ඉතිරි වී ඇත් නම් එම දිනයට මංගල නැකත් සාදා දෙන්න යෑයි ඉල්ලා සිටී. 

මෙයට හේතුව මංගල නැකැතක්‌ නිවැරදිව සාදා ගැනීමේ වටිනාකම පිළිබඳව අවබෝධයක්‌ නොමැතිකම වේ. විවාහ දිවියට පත්වන යුවළකට මංගල නැකත, තමාගේ අනාගත දියුණුවට, නිරෝගීභාවයට හා දරුඵල සඳහා රිජුවම බලපායි.
 නැකත් පාදයක්‌ යනු නවාංශකයයි. නවාංශක 4 ක්‌ නැකතක්‌ වේ. 

ජ්‍යෙතිෂයේදී නැකත් තරු 27 ක්‌, එනම් නැකත් 27 ක්‌ ඇති අතර, එම නැකත් නවග්‍රහයන්ට සමානුපාතිකව බෙදී පවති. එනම් එක්‌ ග්‍රහයකුට නැකත් 3 බැගින් පවතී. මෙම නැකත් 27 ට අමතරව අභිජිත් යන නැකතක්‌ ද ඇති අතර එය යොදාගන්නා අවස්‌ථා ඉතා විරලය. 

"නැකත" යනු සම්ප්‍රදායක ව්‍යවහාරයේ චන්ද්‍රයා සිටින නැකත වන අතර සෑම ග්‍රහයෙක්‌ම සිටින නැකතක්‌ ද පවතී. සුබ මූර්ත සෑදීමේදී අනෙකුත් ග්‍රහයන්ගේ නැකත් පිළිබඳව සැලකිල්ලක්‌ නොදක්‌වන අතර චන්ද්‍රයා සිටින නැකත පදනම් කරගෙන සුබ මූර්ත සාදයි.දෙදෙනාටම ගැළපෙන මංගල නැකතක්‌ නිවැරදිව සාදාගැනීම ක්‌ෂණිකව කළ හැකි දෙයක්‌ නොවන අතර ඉතා කල්පනාකාරීව, සූක්‌ෂම ලෙස කළ යුතු අසීරු ක්‍රියාවකි.

 එයට හේතුව විවාහ නැකතක්‌ සෑදීමේදී සලකා බැලිය යුතු කරුණු කාරණා විශාල ප්‍රමාණයක්‌ ඇත. මෙහිදී මා ඔබට නැකතක්‌ සෑදීමේදී මූලික වශයෙන් සලකා බැලිය යුතු කරුණු පමණක්‌ විස්‌තර කිරීමට බලාපොරොත්තු වෙමි.
 ප්‍රථමයෙන් විවාහ වීමට බලාපොරොත්තු වන ස්‌ත්‍රී, පුරුෂ දෙදෙනාගේ කේන්ද්‍ර පරීක්‌ෂා කර බලා ඒ අයගේ 7 අධිපතීන් ශුභ ස්‌ථානවල ගමන් කරන කාලය සොයා බැලිය යුතුය. 

එම කාලය කෝණ මාස හැර, සෙසු මාසයක්‌ ද විය යුතුය. සූර්යයා මිථුන, කන්‍යා, ධනු, මීන, යන රාශිවල ගමන් කරන කාලය, එනම් ජූනි මැද සිට ජූලි මැද දක්‌වා ද සැප්තැම්බර් මැද සිට ඔක්‌තෝබර් මැද දක්‌වා ද දෙසැම්බර් මැද සිට ජනවාරි මැද දක්‌වා ද මාර්තු මැද සිට අප්‍රේල් මැද දක්‌වා ද කාලය කෝණ මාස ලෙස හඳුන්වයි. විවාහ වීමට බලාපොරොත්තු වන ස්‌ත්‍රී, පුරුෂ, දෙදෙනාගේ ජන්ම නැකත් දෙකට ගැළපෙන විවාහයට අදාළ නැකතක්‌ සොයා ගැනීම ඊළඟ පියවර වේ. 

මේ සඳහා ස්‌ත්‍රී, පුරුෂ දෙදෙනාගේ ජන්ම නැකත්වල ජන්ම සම්පත් විපත්, ක්‍ෂෙම, ප්‍රත්‍යරි, සාධක, වට, මෛත්‍රි, පරම මෛත්‍රි යනුවෙන් නැකත් 27 ගනිමින් එය සම්පත්, ක්‍ෂෙම, සාධක, මෛත්‍රි, පරම මෛත්‍රි යන නැකත්වලට අයත් වන නැකත් 15 පමණක්‌ වෙන වෙනම ගෙන ඒ දෙදෙනාට පොදු නැකත් පමණක්‌ ගත යුතුය.

 එපමණක්‌ නොව විවාහය සඳහා ගතයුතු නැකත්වලට අදාළ නැකත් පොදු නැකත්වල තිබේ දැයි බලා එම නැකත් පමණක්‌ විවාහ මුහුර්ත සෑදීම සඳහා ගත යුතුය. 

විවාහ නැකත් සඳහා ගනු ලබන උත්‍රපල්, උත්‍රසල, උත්‍රපුටුප, රෙහෙණ, මුවසිරස, රේවතී, අනුර, හත, සා, මුල, මා, අස්‌විද, පුනාවස, සිත, දෙනට, සුවණ යන නැකත්වලට ඇතුළත් වන දෙදෙනාගේ පොදු නැකත් විවාහ මුහුර්ත සෑදීම සඳහා ගත යුතුය.මෙම නැකත සඳුදා, බදාදා, බ්‍රහස්‌පතින්දා, සිකුරාදා යන දිනවලින් එකකට යෙදිය යුතු අතර එම දිනය පුර පක්‌ෂයේ විවාහ මුහුර්තවලට ගැළපෙන තිථියකට අයත් විය යුතුය. 

එසේ වුව ද එම දිනය එම නැකතට ශුභ දිනයක්‌ ද එම තිථිය එම දිනයට ශුභ තිථියක්‌ ද යන්න නැවත බැලිය යුතුය. මසය, නැකත, දිනය, තිථිය ශුභ වූ පමණින්ම විවාහ මුහුර්ත අංග සම්පූර්ණ නොවේ. විවාහ මංගල නැකතකදී අප වඩාත්ම සැලකිලිමත් විය යුත්තේ විවාහය ලියාපදිංචි කිරීම හා පෝරුවේ චාරිත්‍ර ඉතාම ශුභ වේලාවකින් කරදීමටය. 

ඒ සඳහා ද රාහු කාලය නොයෙදන, ශුභ කාලහෝරාවක, ශුභ පංචම කාලහෝරාවක විය යුතුය. තවද ඒ අවස්‌ථාවට යෙදෙන තත්කාලයට යෙදෙන රාශිය ද විවාහය සඳහා ගැළපෙන රාශියක්‌ විය යුතු අතර 7 වැනි භාවයෙහි ග්‍රහයන් තැන්පත් නොවී 6 වැනි හා 8 වැනි භාවයන්හි පාප ග්‍රහයන් නොසිටින වෙලාවක්‌ විය යුතුය.ඉහත දක්‌වා ඇත්තේ මංගල නැකතක්‌ සෑදීමේදී සලකා බලනු ලබන මූලික කරුණු කීපයක්‌ වන අතර මීට අමතරව සුවිශේෂී අවස්‌ථාවල සලකා බලනු ලබන කරුණු කාරණා ද වේ. 

තවද විවාහ නැකත ප්‍රබල කිරීම මඟින්, යුවතිපති දෙදෙනාගේ ජන්ම පත්‍රවල ඇති විවාහයට අහිතකර බලපෑම් යම් මට්‌ටමකින් සමනය කර ගැනීමක්‌ සිදුවන බව ද මතක්‌ කළ යුතුය.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment