රාහු-කේතු ගෙන් ඔබටත් අපලද? | Gurukam.net - Gurukam.Net

Monday, June 1, 2020

රාහු-කේතු ගෙන් ඔබටත් අපලද? | Gurukam.net



                පෘථිවිය සූර්යයා වටා ගමන් ගන්නා අතර චන්ද්‍රයා පෘථිවිය වටා යමින් සූර්යයා වටාද ගමන් කරයි. සඳු, දින 29 ක්‌ පෘථිවිය වටා යන ගමන තුළ දෙවරක්‌ උතුරින් හා දකුණින් හිරුගේ මාර්ගය කැපෙයි. එසේ කැපෙන උතුරු ලෂ්‍යය රාහු වශයෙන්ද, දකුණු ලෂ්‍යය කේතු වශයෙන්ද නම්කොට ඇත. මෙය කැපී යන ලෂ්‍ය දෙක හෙවත් රාහු සහ කේතු එකිනෙකට සප්තමව පිහිටා ඇති අතර මෙය ඇත්ත වශයෙන්ම කිසියම් බලවේගයක්‌ හෙවත් ශක්‌ති පද්ධතියක්‌ බැවින් කිසියම් බලයක්‌ ආරෝපණය කර තිබේ.ජ්‍යෙතිෂයේ දී පමණක්‌ භාවිත වන ඡායා ග්‍රහයන් දෙදෙනෙක්‌ වශයෙන් සැලකෙන රාහු කේතු දෘශ්‍යමය නොවන බැවින් භෞතික වශයෙන් අන්‍ය ග්‍රහයන් සමඟ සැසඳිය නොහැක

 රාහු නාග හිසක්‌ සහ මිනිස්‌ ශරීරයක්‌ ඇති ක්‍රියාකාරී ග්‍රහයකු ලෙසද, කේතු මිනිස්‌ හිසක්‌ හා නාග කඳක්‌ සහිත සිහින් සිරුරක්‌ ඇති උදාසීන ග්‍රහයෙකු ලෙසද හඳුන්වනු ලැබේ.

රාහු සහ කේතු යන මෙම අදෘශ්‍යමාන ග්‍රහ ශක්‌තීන් සිය අක්‍ෂයේ සිට අනෙකුත් ග්‍රහයන්හට විශේෂ බලපෑමක්‌ ඇති කරනු ලබන අතර පුද්ගල මනෝභාවයන්ට සම්බන්ධ වනු ඇත.රාහු එක්‌ රාශියක්‌ තුළ වසර 1 1/2 ක්‌ සිටී. ඒ අනුව රාශි දොළහ ගත කිරීමට වසර 18 ක්‌ ගතවෙයි. එමෙන්ම රාහු මහ දශාවටද අවුරුදු 18 ක්‌ ඇතුළත්ය. කේන්ද්‍රයේ 11 වැන්නට කාරක වන රාහු ජන්මියාගේ අතීත කර්මයන් සඳහා දඬුවම් දීමට ක්‍රියාත්මක වෙයි.

රාහු සහ කේතු විසින් අතීත කර්මානුගත ප්‍රතිවිපාක ජන්මියා වෙත පවරා දෙමින් ඒවා මෙම ආත්ම භාවයේ අත් විඳීමට සලස්‌වයි.රාහු යම් පුද්ගලයකුගේ අරමුණු ඉටුකර ගැනීමට යැමේදී නිරන්තරව බාධා පමුණුවයි. මෙම නිසා අතෘප්තිකර මානසිකත්වයක්‌ ගොඩනැඟෙයි. මේ අනුව පුද්ගල මනෝ භාවයන්වල වෙනසක්‌ ඇති කර අතීත කර්මවලට දඬුවම් දීමට රාහු ක්‍රියාත්මක වේ.

මෙම නිසා කිසියම් පුද්ගලයකු දුරදිග නොබලා කටයුතු කිරීම, ඉක්‌මන් කෝපය, එක තැනක එක විදියට නොසිටීම, තැන් තැන්වල ඇවිදීම, අධ්‍යාපන උනන්දුව හීන වීම වැනි කාරණා ඉස්‌මතු වන්නට පුළුවන.රාහු මිනිස්‌ ජීවිතයට ඇති කරනු ලබන බලපෑම් වලට වඩා පරස්‌පර තත්ත්වයක්‌ කේතු විසින් ඇති කරනු ලබයි. මුරණ්‌ඩු මෙන්ම හිතුවක්‌කාර ගති, ශරීර සෞඛ්‍යය පිරිහීම, භූත දෝෂ, ප්‍රේත දෝෂ, අධ්‍යාපන කටයුතු අතපසු වීම, චිත්ත පීඩා, ප්‍රියයන්ගෙන් ඈත් වීම, බලාපොරොත්තු කඩවීම, ස්‌ථානගත කරදර, හීනමානය, කුෂ්ඨ රෝග තත්ත්වයන් කේතු විසින් ඇති කරනු ලබයි.

 රාහු අනෙකුත් ග්‍රහයන් හා සංයෝග වීමෙන් විවිධ වූ ඵල විපාක ඇති කරවයි. ශුභ තත්ත්වයේ සිටින රාහු සමඟ ගුරු හා ශනි වැනි ග්‍රහයන් සංයෝග වීමෙන් ශුභ විපාක ඇති කරයි. රාහුගේ ලක්‌ෂණය වන්නේ සෙසු ග්‍රහයන් සමඟ එක්‌වීමේදී එම ග්‍රහයාගේ ක්‍රියාකාරී ස්‌වභාවය තවදුරටත් වේගවත් කරවීමයි. එහිදී ශුභ අශුභ තීරණය වන්නේ එම ග්‍රහයන් කේන්ද්‍රය තුළ පිහිටන ස්‌වභාවය අනුවය.

 රාහු සඳු සමඟ සංයෝග වීමෙන් අපස්‌මාරය, උමතු බව, කේන්ති යැම, නුරුස්‌නා ගතිය, ලිංගික ඌනතාව හා හීනවීම, සියදිවි හානි කර ගැනීම යන කාරණාවලට ජන්මියා පෙළඹීමට ඉඩ ඇත. එමෙන්ම අන් අයගේ හැඟීම්, සිතිවිලි සහ වේදනාවන් අවබෝධ කර ගැනීමට අපහසු මානසිකත්වයක්‌ ගොඩනැඟේ.රාහු, සිකුරු හා එකතු වීමෙන් ලිංගික ජීවිතය හා සම්බන්ධයෙන් නොමඟ යැමේ ප්‍රවණතාවක්‌ ඇති කරයි. එමෙන්ම සහකරු හෝ සහකාරියට නියම ආකාරයට ආදරය හා කරුණාව දැක්‌වීමක්‌ නොමැති වෙයි. විශේෂයෙන් ඉහත කී සංයෝගය 7 වැන්නේ යෙදීම තුළ ඉහත කී කරුණු වැඩිදියුණු වනු ඇත.

 රාහු, බුධ හා සමඟ සංයෝග වීම තුළින් පසුගාමී මානසිකත්වයක්‌ ඇති කළ හැකි අතර විශේෂයෙන් අධ්‍යාපනය ලබන කාලය තුළ මෙම සංයෝගය ක්‍රියාත්මක වීම තුළ දරුවකුගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක්‌ ඇති විය හැක.රාහු 3 වැනි භාවයේ සිටින විට රාහුගේ බලය වැඩිය. ලෞකික ආශාවට වැඩි නැඹුරුවක්‌ පෙන්වයි. ජන්මියාට සුවිශේෂී ශක්‌තියක්‌ ලබා දේ. අනෙක්‌ ග්‍රහයන්ගේ දෘෂ්ටීන් අනුව මෙම තත්ත්වය තරමක්‌ වෙනස්‌ විය හැක.එමෙන්ම රාහු ග්‍රහයා 6 වැනි භාවයටද ශුභය. සතුරන් මර්දනය කිරීමට රාහු 6 වැන්නට පැමිණීම ශුභදායකය. 3, 6 හැරුණු විට අනෙක්‌ උපචය ස්‌ථාන වූ 11 වැන්නටද රාහු යහපත් ප්‍රතිඵල උදාකරයි. විශ්ව කේන්ද්‍රයට අනුව තුන්වැන්න මිථුන රාශිය වන අතර සයවැන්න කන්‍යා රාශියයි. 11 වැන්න කුම්භ රාශියයි.

පිළිවෙළින් රාහුගේ උච්ච ස්‌වක්‌ෂේත්‍ර හා මූල ග්‍රහ කාරක රාශි ලෙස ජාතක පරිජාතකයේ දක්‌වා ඇත. සතුරන්, ලෙඩ රෝග සහ අසනීප ගති නිවේදනය කරන පුද්ගලයකුගේ සැඟවුණු ශක්‌තීන්ද අනාවරණය කරයි. මෙම සැඟවුණු ශක්‌තීන් පෝෂණය කර පුද්ගලයා තුළ පිබිදුණු ක්‍රියාකාරී ස්‌වභාවයක්‌ ඇති කිරීම සඳහා රාහු ඵලදායී දායකත්වයක්‌ ලබා දෙයි.10 වැන්නද රාහු ශුභ පල උදාකරන ස්‌ථානයක්‌ ලෙස සඳහන් කළ හැක. රැකියාව, තත්ත්වය හා සුබසාධන කාර්යයන් හා සම්බන්ධ වෙමින් රාහු ක්‍රියාකාරී ග්‍රහයෙකු වශයෙන් විශේෂ දායකත්වයක්‌ ලබා දෙයි. රැකියා ස්‌ථානයේ දී තම බලය පතුරුවාගෙන තම අපේක්‍ෂාවන් ඉටුකර ගනී.

 11 වැන්නද රාහු විසින් ශුභ ඵල උදාකරන භාවයක්‌ ලෙස හැඳින්වේ.

 ලග්න භාවයටද රාහුගෙන් ලැබෙන දායකත්වය ශුභදායී නොවේ. කැපී පෙනීමට ආශා කරයි. අතෘප්ති කර අසහනශීලී මානසිකත්වයක්‌ ඇති අය වෙති. බුද්ධිමත් තීරණ නොගනී.

 දෙවැන්නටද රාහු සුදුසු ස්‌ථානයක්‌ නොවේ. අපේක්‍ෂාවන් කඩ වන ස්‌වභාවයක්‌ ඇතිවන අතර ගෘහ ජීවිතය අවුල් ඇතිවීමේ තත්ත්වයක්‌ ඇතිවිය හැක. සිව් වැන්නේ සිටින රාහු ජන්මියාගේ චෛතසික ස්‌වභාවය අන් අයට තේරුම් ගැනීමට නොහැකි හැසිරීම් රටාවන් නිර්මාණය කර ගැනීමට ජන්මියා පොළඹවයි.

 රාහු 5 වැන්නේ සිටීමෙන් අධ්‍යාපනය, දරුඵල ආදී කටයුතුවලට බාධා පමුණුවයි. මෙම භාවයේ රාහු ගුරු සමඟ සම්බන්ධ වුවහොත් යහපත් තත්ත්වයක්‌ ඇති කරවයි.

 රාහු 7 වැන්නට අශුභ වන්නේ විවාහ සැපතට බාධා එල්ල කරන නිසාවෙනි. සාමාන්‍යයෙන් 7 වැනි භාවයෙහි සිටින රාහු, විවාහය හා බැඳුණු පූර්ව අකුසල කර්ම ක්‍රියාත්මක කරන අතර ඒවා ජන්මියාට අත් විඳීමට අවස්‌ථාව සලසා දෙයි. රාහු 7 වැන්නේ සිටින විට තමාට නොගැළපෙන විවාහයන් සිදුකර ගැනීමට බොහෝ විට සිදුවන අතර මේ නිසා මෙය එක්‌තරා අන්දමකින් කර්මය ගෙවා දැමීමක්‌ ලෙස පිළිගත හැක.

 රාහු 8 වැනි භාවයටද, අශුභ ප්‍රතිඵල ඇති කරයි. වේග පීඩා ගෙනදීම, හදිසි අනතුරු වැනි තත්ත්වයන් රාහු අටවැන්නේ පීඩාකාරී වීමෙන් දැකිය හැක. මීට අමතරව සුරාව, සූදුව වැනි සමාජ විරෝධී ක්‍රියාවන් සඳහා ද පුද්ගලයන් යොමු කිරීමට හේතු වේ.
 9 වැන්නේ රාහු පීඩාකාරී වීම තුළ ආගමික භක්‌තිය හීනවීම, වැඩිහිටියන්ට ගරු නොකිරීම, පියා සමඟ සබඳතාව අඩුවීම වැනි කාරණා ඇතිවිය හැක. ශුභ ග්‍රහයන්ගේ බලපෑම් මත 9 වැන්නට ශුභදායී රාහු ආගම කෙරෙහි නැඹුරුතාව ආධ්‍යාත්මික වශයෙන් සුබදායී බවක්‌ අත්විඳීමට සලසනු ඇත.

 රාහු 12 වැන්නේ සිටීමෙන් අනවශ්‍ය ලෙස මුදල් නාස්‌තිය, සමාජ විරෝධී ක්‍රියා නිසා නීතියේ රැහැනට හසුවීම වැනි තත්ත්වයන් ඇතිවිය හැක. විශ්ව කේන්ද්‍රයේ මෙම භාවය ගුරුට අයත් වන බැවින් ලෝකෝත්තර සංකල්පය හා බැඳෙයි. රාහු ලෞකිකත්වය නිවේදනය කරමින් ප්‍රතිවිරුද්ධ දිශාවකට යොමු වේ. කේතු ලග්න භාවයේ සිටීමෙන් නිශේධනාත්මක සිතිවිලි අතර සිරවී තමා තුළ හීනමානයන් උපදවා ගනී. අපේක්‍ෂාවන් මුදුන් පත්කර ගැනීමට ඇති අපහසුව නිසා සමාජයෙන් වෙන්වී සිටීමට කැමැත්තක්‌ දක්‌වයි.

 කේතු දෙවැන්නටද ශුභ ඵල නොපෙන්වයි. දෙවැන්නෙන් කියෑවෙන ධනය චංචල දේපළ හා පවුල් ජීවිතය වැනි ලෞකික ක්‌ෂේත්‍රයන්ට වැඩි නැඹුරුවක්‌ නොදක්‌වන නිසාවෙන් ජන්මියා විවිධ වූ ජීවන ගැටලුවලට මුහුණපානු ඇත. කේතු තෙවැන්නේ සිටින ජන්මීන් බොහෝ විට මානසික දුර්වල ස්‌වභාවයක්‌ පෙන්නුම් කරයි.

කේතු සිව්වැන්නේ තැන්පත් වූ ජන්මියා ඔවුනට ආවේනික වූ සුරංගනා ලෝකයක්‌ මවා ගනියි. 5 වැන්නේ සිටීමෙන් තර්කානුකූල සිතිවිලි ඔස්‌සේ බුද්ධි වර්ධනය සඳහා ක්‍රියා කරනු ඇත. දරුඵල හීනවීමටද බලපෑ හැක.කේතු 6 වැන්නේ පීඩාකාරී වීමෙන් ආවේගශීලී ගති ලක්‍ෂණ පෙන්නුම් කරයි. 7 වැන්නේ වූ කේතු යහපත් සබඳතාව පළුදු වේ. මානසික සමබරතාව බිඳී යැමෙන් හැඟීම් පාලනය කර ගැනීමට අසීරු වේ.  8 වැන්නේ කේතුගේ දුර්වල නිවේදනය වීම රෝගාබාධ තත්ත්වයන් විශේෂයක්‌ හමේ රෝග තත්ත්වයක්‌ ඇතිවිය හැක. විශේෂයෙන් කේතු මහ දශා කාලයන් තුළදී මෙවැනි තත්ත්වයන් උදාවිය හැක.

 කේතුගේ නියෝජනය සමාජමය වශයෙන් නමවැනි භාවයේ දී ඉතා වැදගත් වේ. ආගම දර්ශනය, ගුප්ත විද්‍යාවන් හැදැරීම තුළින් සමාජයට මෙහෙවරක්‌ කිරීමට කේතු විශාල පිටුබලයක්‌ ලබාදෙයි. දසවැනි භාවයේදී පූර්ව කර්ම විපාක මත ජන්මියා හැසිරවීමට කේතු ක්‍රියාත්මක වෙයි. මෙහිදී ඔහුගේ කාර්යයන් පිළිබඳ කිසිම ඇගයීමක්‌ නොවන අතර අතෘප්තිකර ජීවිතයක්‌ ගෙවීමට ජන්මියාට සිදු වේ. 11 වැනි භාවයට සම්බන්ධ වීමෙන් ජන්මියා යථාර්ථවාදී චාම් ජීවිතයක්‌ කරා යොමු වේ. කේතු 12 වැන්නට සම්බන්ධ වීමෙන් ආධ්‍යාත්මික සුවයක්‌ අත් විඳිමින් පරලොවක්‌ ගැන සිතීමක්‌ ඇති වේ. මන්ද කේතු මෝක්‍ෂ කාරකයා වන බැවින් දොළොස්‌ වැන්නද මෝක්‍ෂ ස්‌ථානයද වේ.

 රාහු හා කේතු දෙදෙනා එකිනෙකට ප්‍රතිවිරුද්ධ අක්‍ෂ දෙකක සිටියද ඒකකයක්‌ ලෙස ක්‍රියා කරමින් විශේෂයෙන් මෙම දෙදෙනාගේ අක්‍ෂය තුළින් යම් ජන්මියකුගේ දෛවෝපගත කර්මයන් පෙන්නුම් කරන අතර එය අදාළ දශා අන්තර් දශා කාලයන්වල වඩාත් ඉස්‌මතු වී ක්‍රියාත්මක වන ආකාරය දැකිය හැක.




උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment