ජීවිතය, තුරුණු වියේ සිට ජයගන්නා කන්‍යා ලග්න හිමියෝ | Gurukam.net - Gurukam.Net

Saturday, May 16, 2020

ජීවිතය, තුරුණු වියේ සිට ජයගන්නා කන්‍යා ලග්න හිමියෝ | Gurukam.net



            ඔබගේ ලග්නයේ අධිපතියා වනුයේ ග්‍රහ ලොව පුංචි සුරතලා වන බුධ ග්‍රහයායි. කන්‍යාවෙන් උපත ලද ඔබගේ මූල ධාතුව වනුයේ පඨවි මූල ධාතුවයි.විශ්ව කේන්දරයේ තුන්වැන්න සහ සය වැන්න අයත් වනුයේ බුධට ය. කන්‍යාව සෞම්‍ය ගුණයෙන් යුත් ස්‌ත්‍රී රාශියක්‌ වන අතර උභය රාශියක්‌ ලෙස ද ජ්‍යෙතිෂයේ හැඳින්වේ. බුද්ධියට, ඥනයට හා උගත්කමට කාරක වන බුධට අයත් කන්‍යා ලග්නයෙන් උපත ලද ඔබ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ මොළකාරයෙකි.

 සුපිරි ගණයේ සැලසුම්කරුවෙකි. ප්‍රායෝගික ක්‍රියා මඟින් තම දක්‌ෂතා ලොවට එළිදක්‌වන ඔබ එමඟින් අති විශාල ජනප්‍රියත්වයක්‌ තම දිවියට එක්‌කර ගනී. 

ඕනෑම කටයුත්තකදී මහත් උනන්දුවකින් හා කැපවීමකින් කටයුතු කරන ඔබ තමා කරන කාර්ය පිළිබඳව දැඩි විශ්වාසයක්‌ තබා ගැනීමට මොහොතකටවත් මැළිවන්නේ නැත.දැඩි අධිෂ්ඨාන ශක්‌තියකින් යුතුව ක්‍රියාකරන ඔබ පටන්ගත් කිසිම වැඩක්‌ මොනයම් බාධක අතරමඟදී නවතා දැමීමට කිසිසේත්ම කැමති නැත.

 එහි අවසාන ප්‍රතිඵලය දකින තුරු දිරියෙන් යුතුව කටයුතු කරන ඔබ තම මනසේ ඇඳී ඇති මනෝමය චිත්‍රය සම්පූර්ණ කර ගන්නා තුරු බලාපොරොත්තු අත් හරින්නේ නැති අයෙකි.කන්‍යාවෙන් උපන් ඔබ තුළ සහජයෙන් ලද දක්‌ෂතා රාශියක්‌ ගැබ්ව පවතී. එම හැකියාවන් බොහෝ විට කලාව හා සාහිත්‍යයට සමීප වන්නට බොහෝ දුරට ඉඩ ඇත. 

කවිය, ගීතය, චිත්‍රය, රඟපෑම වැනි ක්‌ෂේත්‍රයන් තුළදී මෙන්ම ජන සන්නිවේදනය, කථනය වැනි මාධ්‍යයන් තුළින් ද ඔබගේ දක්‍ෂතා දැකගත හැකි වීම විශේෂත්වයකි. කෙටියෙන් කියතොත් ඔබ දක්‌ෂ කලාකරුවෙකි. එහෙත් කලාකරුවකුට වඩා කලාත්මක ව්‍යාපාරික ඥනයක්‌ ඔබ සතුව ඇත.
 නව මං සොයා යැමට සෑම මොහොතකම උත්සාහ දරන කන්‍යාවෙන් උපත ලද ඔබ ව්‍යාපාරික අංශයෙන් ද නව මං පෙත් විවර කර ගැන්මට තරම් බුද්ධිමත් බවකින් යුක්‌තය. 

නමුත් සමහර අවස්‌ථාවලදී ඔබගේ ලග්නය සතු උභය රාශී ගුණය මතුවීමෙන් සිත තුළ චංචල බවක්‌ ඇති වීම ස්‌වභාවික ය.ඇත්තටම ඉතා හොඳින් කතා කිරීමේ කලාව ඔබට ලැබී ඇත්තේ උපතින්ම ය. කතාවෙන් අන්‍යයන් වසඟ කරගැනීමේ හැකියාව ඔබට දෙවියන් දුන් දායාදයක්‌ වුව ද සමහර අවස්‌ථාවලදී ඔබත් නොදැනුවත්වම එය අන් අයට කරදරයක්‌ වන්නට ඉඩ ඇත. 

එසේ වන්නේ තොර තෝංචියක්‌ නැතිව නොකඩවා කතා කිරීම නිසාය. ඔබ මේ බව හොඳින් අවබෝධකර ගැනීමෙන් ඔබට අන්‍යයන්හට කරදරයක්‌ නොවී ජීවත්වීමේ හැකියාව උදාවනු ඇත. (කන්‍යා ලග්නයේ හැමෝම එසේ නැත.)
 එමෙන්ම ඔබ වාසනාවන්තය. අධ්‍යයන ක්‌ෂේත්‍රය තුළදී ඔබගේ දක්‌ෂතාවන් හා සමකළ හැකි අන් ලග්නයක්‌ නොමැති තරම්ය. මා එසේ කීවේ ලග්නාධිපති බුධ ග්‍රහයා, ඔබගේ ලග්නය මතදී ස්‌වක්‌ෂේත්‍ර, උච්ච හා මූල ත්‍රිකෝණ බවට පත්වන බැවිනි. ජ්‍යෙතිෂයේ එවැනි තනතුරු ත්‍රිත්වයක්‌ එකම රාශියකදී හිමිකර ගන්නා එකම ග්‍රහයා වන්නේ බුධ ග්‍රහයා පමණි.
 ඉතින් බලන්න ඔබ මොන තරම් භාග්‍යවන්තයෙක්‌ ද කියල. ඒ වගේම ඔබේ කේන්දරයේ ලග්නය මත පිහිටන ලද බුධ ග්‍රහයා, පංචා මහා පුරුෂ යෝගයක්‌ වන 'භද්‍ර' නමැති අති බලගතු රාජයෝග බලය ඔබට ප්‍රදානය කරනුයේ ඔබ සතු පෙර පින් මහිමයේ අනුහසින් නොවේද? ඒ වගේම ඔබේ කන්‍යා ලග්න කේන්දරයේ 10 වැන්න වූ කර්මස්‌ථානයේ ලග්නාධිපති බුධ පිහිටීමෙන් ද 'භද්‍ර' යෝගය උදාවේ. 

නමුත් එය ලග්නය මත පිහිටන ලද 'භද්‍ර' යෝගය හා සම කළ නොහැකි වුව ද බලවත් බව අමතක නොකරන්න.
 කන්‍යාවෙන් උපත ලද ඔබ සත්‍යවාදී අයකු බව කිව යුතුය. නමුත් සමහර අවස්‌ථාවලදී සිත තුළ ඇති දෙගිඩියාව ඔබගේ සත්‍යවාදී බවට බාධා පමුණුවන්නට ඉඩ තිබේ. එම නිසා සිතිවිලිවලට දොaලනය වන්නට ඉඩ නොදෙන්න ඔබ වගබලාගත යුතු බව මගේ අදහසයි.
 කන්‍යාවෙන් උපත ලද ඔබ කඩිසර ගමන් විලාසයකට උරුමකම් පෙන්වන මධ්‍යම ප්‍රමාණයේ සිරුරකින් යුත් අයෙකි. ඔබේ කඩහඬ ඉතා තියුණුය. ලෙළදෙන සුලුය. ඔබේ වයසට වඩා තරුණ පෙනුමක්‌ ඔබ තුළින් විද්‍යාමාන වේ. සියුමැලි ශරීරයක්‌ මෙන්ම කාරුණික හදවතක්‌ ද ඔබට උපතින්ම දායාද වී ඇත.
 ඔබ බුධ ග්‍රහයා මෙන් බුද්ධිමත්ය. එමෙන්ම ශක්‌තිමත්ය. ආත්ම අභිමානයෙන් යුක්‌තය. යම් අවස්‌ථාවලදී ඔබ සමඟ උරෙනුර ගැටී වැඩකටයුතුවල යෙදීමට අන් අයට හැකියාවක්‌ නැත. 

ඔබ තමාට පැවරෙන ඕනෑම කාර්යයක්‌ ක්‍රමානුකූලව, කල්පනාකාරීව හා බුද්ධිමත් ලෙස සිතා බලා කිරීමට ඉතා දක්‌ෂය. ක්‌ෂණිකව තැනට සුදුසු ලෙස බුද්ධිමත් තීරණ ගැනීමේ හැකියාවෙන් ද ඔබ පොහොසත් බව කිව යුතුම ය. එමනිසා ඔබ වැන්නන් සිටින රැකියා හා ව්‍යාපාරික ස්‌ථාන මෙන්ම නිවෙස්‌ ද ඉතා වාසනාවන්ත වනු ඇත.
 සියුම් ඥනයෙන් පොහොසත් ඔබ ඕනෑම ගැටලු සහගත අවස්‌ථාවක්‌ මඟහැර යන්නේ නැත. කෙසේ හෝ එය විසඳීමට ඔබ සතු එම සියුම් ඥනය ඔබ පිහිට කරගනු ඇත. නමුත් ඔබ සතු දුර්වලකම වනුයේ එය ඔබගේ වාසිය පිණිස හරවා ගැනීමය. එනිසා එම දුර්වලකම නිවැරදි කරගැන්මට උත්සාහ කරන්න.
 මිහිතලය හෙවත් මහ පොළොව කාරක කරගනිමින් උපත ලද ඔබ කෘෂිකාර්මික කටයුතුවලට දක්‌වනුයේ මහත් ඇල්මකි. එමඟින් ආදායම් උපදවා දියුණුව කරා යැමට ද ඔබට හැකියාව ඇත.

 එමෙන්ම පොත්පත් කියෑවීමට ද ඔබ රුසියකු වන අතර පොතපතට ඔබ තුළ ඇත්තේ ඉමහත් ආදරයෙකි. ඔබ ලියකියවිලි වැනි දැ ඉතා ප්‍රවේශම් ලෙසින් තබාගන්නේ අන් අයට නොදෙවැනි ලෙස ක්‍රමානුකූල බවකි.
 කන්‍යා ලග්නයෙන් උපත ලද ඔබට මිතුදම් වැඩිකල් පවත්වාගෙන යා නොහැකි බව පර්යේෂණයන් මඟින් හෙළි වී ඇත. ඊට හේතුව ලෙස පෙන්වා දී ඇත්තේ නිතරම ඔබ අනුන්ගේ දොස්‌ දැකීම හා තොරතෝංචියක්‌ නැතිව ගිරවකු මෙන් කතා කිරීමය. එවිට ඇසුරුකරන්නන් හට ඔබව පෙනෙනුයේ කරදරකාරයකු ලෙසය.
 ඇත්තටම ඔබ මානව හිතවාදියෙකි. අනුන්ගේ කරදරයකදී හෝ විපතකදී කර නොඇර ඔබට හැකි අයුරින් බර කරට ගෙන කටයුතු කිරීම ඔබ සතු මහඟු ගුණයකි. ඔබ දයාබරය. තම හිතමිතුරන් හා නෑයන් වෙනුවෙන් පරිත්‍යාගශීලීය. නමුත් කිසිදාක පරිත්‍යාගයක්‌ වෙනුවෙන් ප්‍රතිඋපකාර බලාපොරොත්තු වන්නේ නැත.
 ඔබ දෙවියන්ට භය පක්‌ෂපාතීය. කරදරයකදී අන් අය දෙවිඳුන් යෑදුව ද ඔබට දෙවියන් වන්දනාමාන කිරීමට වෙලාවක්‌ කලාවක්‌ නැත. ඔබ දුකක්‌ කරදරයක්‌ නොමැති වුව ද දෙවියන් යදිනුයේ ඉමහත් සතුටින් බව නිභයව ප්‍රකාශ කළ හැක. ඔබගේ ආගමට කවුරුන් හෝ විරුද්ධව කතා කළහොත් එය ඔබට වේදනා ගෙනදෙන්නකි. කෙසේ හෝ තර්ක කර විරුද්ධවාදියා මෙල්ල කර ගැනීමේ උත්පත්ති හැකියාවෙන් ඔබ පොහොසත්ය. පෘථුල හදවතකට හිමිකම් කියන ඔබ ඉතා සංවේදීය. අනුන්ගේ දුකේදී වෙඬරු පිඬක්‌ සේ ඔබේ හදවත උණු වී ගලා හැලෙනු ඇත. එමෙන්ම ඔබ යහපත් අයෙකි. ගුණගරුකය, යුක්‌ති සහගත ය. අයුක්‌තිය හා අසාධාරණය ඔබට රුස්‌සන්නේ නැත.

 නමුත් ඔබ අතින් ඉඳහිට කෙරෙන අයුක්‌ති සහගත හා අසාධාරණකම් ඔබට පෙනෙන්නේ නැත. පෙනුන ද ඔබ ඒ ගැන සිතන්නට කැමැති නැත. මෙය දුර්වලකමක්‌ බැවින් නිවැරදි කර ගැන්මට උත්සාහ ගන්න.ජ්‍යෙතිෂය, ගුප්ත විද්‍යාව හා දේව සංකල්ප පිළිබඳව ඔබ තුළ ඇත්තේ පුදුමාකාර ඇල්මකි. ඔබගේ සෑම වැඩකටයුත්තකදීම දෙවියන් හා බුදුන්ගේ ආශිර්වාදය ඔබට ලැබෙතැයි ඔබ තරයේ අදහන්නෙකි. ඔබ තුළ තැන්පත්ව ඇති විශ්වාසයන් කිසිදා බිඳ හෙළිය නොහැකි අතර එම විශ්වාසයන් මතම ඔබගේ ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වන බව ඔබ හො¹කාරවම දනී.
 ඔබ තුළ කලබල ගතිය හා නොසන්සුන් බව වැඩි වශයෙන් පවතී. එම නිසාම සමහර අත්‍යවශ්‍ය දේවල් ඔබට මඟ හැරී යන අතර එම අමතක වීම හේතුවෙන් පාඩු ද සිදුකර ගනී. විශේෂයෙන් ඔබේ කට ප්‍රවේශම් කර ගැනීමෙන් සිදුවිය හැකි අයහපත් දේ වළක්‌වා ගැනීමට ඔබට පුළුවන. ඔබගේ ජීවිතයට වාසනා වේ රන් අරුණළු පතිත වන්නේ අවුරුදු 24 න් පසුවය. උසස්‌ රැකියාවක්‌, යහපත් විවාහයක්‌, ලස්‌සන නිවසක්‌, අලුත් වාහනයක්‌ වැනි භෞතික සම්පත් ඒ සමඟම ඔබට හිමිවනු ඇති බව විශ්වාසයෙන් පැවසිය හැක.
 කන්‍යා ලග්නයෙන් උපත ලද ඔබගේ ජීවිතයේ මුල් භාගය එතරම් යහපත් නොවන්නට ඉඩ ඇත. අරගලකාරී, දඩබ්බර, හිතුවක්‌කාර බවකින් එම යුගය පිරී තිබෙන්නට පුළුවන. ක්‍රමයෙන් තරුණ වයස පසුකර යද්දී එම තත්ත්වය වෙනස්‌ ව වාසනාවන්ත යුගයක්‌ උදාවනු ඇත.සමහරුනට කන්‍යා ලග්නයෙන් උපන් ඔබව පෙනෙනුයේ මසුරෙකු ලෙසිනි. නමුත් ඇත්ත වශයෙන්ම ඔබ මසුරු අයෙකු නොවේ. ඔබ මිල මුදල් පරිහරණයේදී ඉතාම ප්‍රවේශම් සහගත ය. වියදම් කරනුයේ ද සැලසුම් සහගතව ක්‍රමානුකූල අයුරින් බැවින් දකින අය හිතනුයේ ඔබ ලෝභියකු ලෙසිනි. නමුත් ඔබේ ආර්ථික සුරක්‌ෂිතභාවය පිළිබඳව ඔබ සෑහීමකට පත්වූ පසු අත දිග හැර වියදම් කිරීමට ඔබ පසුබට වන්නේ නැත.
 කන්‍යාවෙන් උපන් ඔබ තමාගේ ආදරණීයන් වෙනුවෙන් කිසිදු ලෝභකමකින් තොරව විය පැහැදම් කරන බව මා අත්දැක තිබේ. නමුත් ඔබ තුළ ද ආත්මාර්ථකාමී ගති අඩු වැඩි වශයෙන් ද පවතී. ඔබ පින් අතේ වැඩට කැමැතිය. එතුළින් ද ඔබ බලාපොරොත්තු වන්නේ ඔබේ නම සමාජ ස්‌ථරය තුළ පරිත්‍යාගශීලීයකු, පින්වතකු ලෙස ප්‍රසිද්ධ කර ගැනීමටය. ඔබේ මතුපිටින් එය නොපෙනුන ද ඔබගේ චිත්තාභ්‍යන්තරය අනිවාර්යයෙන්ම එය බලාපොරොත්තුව සිටින බව බොරුවක්‌ නොවෙයි නේද?

කුමන රැකියාවක යෙදුන ද ක්‍රමයෙන් ඔබ එහි උසස්‌ තත්ත්වය කරා පියනඟනුයේ ඔබ සතු දක්‌ෂතාවන් පෙළගස්‌වමිනි. එය ඔබ සතු විශේෂත්වයි. 
 ඇත්ත වශයෙන්ම ඔබ පිරිසිදුකමට මුල්තැන දී ක්‍රියා කරන්නෙකි. ඔබගේ ශරීරය මෙන්ම ඔබගේ ක්‍රියාවන් ද පිරිසිදු බවින් යුතුය. ඔබ සිටින ස්‌ථානය කුමක්‌ වුවත් එය පිරිසිදුව තබාගැන්මට ඔබ නොමඳ උත්සාහයක්‌ ගනී.
කන්‍යාවෙන් උපන් ඔබ විශ්වාසවන්තය, අවංකය. 

එනිසාම මූල්‍ය ක්‌ෂේත්‍රයන්ට සම්බන්ධ රැකියාවක්‌ සඳහා ඔබ ඉතාම සුදුසු බව මගේ අදහසයි. එමෙන්ම නිර්මාණශීලී බවින් යුක්‌ත බැවින් එවැනි රැකියාවන් ද ඔබගේ දියුණුවට ඉවහල් වනු ඇත. 
උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment