ව්‍යාපාරයේ ඉහලට නගින්න නොවරදින මග මෙන්න | Gurukam.net - Gurukam.Net

Saturday, May 2, 2020

ව්‍යාපාරයේ ඉහලට නගින්න නොවරදින මග මෙන්න | Gurukam.net


 ඔබ ව්‍යාපාරයක්‌ ආරම්භ කිරීමට පෙර, සලකා බැලිය යුතු කාරණා කීපයක්‌ වේ. එනම් ඔබට ව්‍යාපාර මගින් ලාභ ලැබීමේ වාසනාව තිබේද? එසේ තිබේ නම් ඔබ ව්‍යාපාරයක්‌ ආරම්භ කළ යුතු කාලවකවානු මොනවාද? ව්‍යාපාරය පවත්වාගෙන යැමේදී වරින් වර ඇතිවන අශුභ කාලයන්වල ව්‍යාපාර කටයුතු අඩාල වීම් හා ඒවාට කළයුතු පිළිවෙත් මොනවාද? යන්නත් ඔබට දියුණුව ඇත්තේ කුමන අංශයට අදාළ ව්‍යාපාරයක්‌ මගින්ද යන්නන් දැනහඳුනාගෙන ව්‍යාපාරයකට අවතීරණය වන්නේ නම් ඔබට මුහුණපාන්නට සිදුවන, අවදානම අවම කරගත හැකි වේ. ඉහත කාරණා කල්තියා දැනගත හැකි වන්නේ ජ්‍යෙතිෂය මගින් පමණි.
                   

                        ව්‍යාපාරයක්‌ පවත්වාගෙන යැමේදී ඔබට නොයෙකුත් තත්ත්වයන් වලට මුහුණ පාන්නට සිදුවනු ඇත. එනම් සමහර ව්‍යාපාර දිනෙන් දින දියුණුවට පත්වනු දැකිය හැකි වන අතර, තවත් ව්‍යාපාරයක්‌ නොසිතූ අවස්‌ථාවක අසාර්ථක වනු දැකිය හැකිය. බොහෝ දෙනකු ජ්‍යෙතිෂය මගින් සරණක්‌ පැතීමට පැමිණෙනු ලබන්නේ ව්‍යාපාර කටයුතු අඩාල වූ පසුව වේ.


 මෙහිදී ප්‍රධාන වශයෙන් කිවයුත්තේ ව්‍යාපාර යනු සෑම පුද්ගලයකුටම කළ හැකි දෙයක්‌ නොවේ. එනම් ව්‍යාපාරයක්‌ කිරීමේ හැකියාව, දක්‍ෂතාව, අවදානම් කළමනාකරණය හා ලාභ ඉපයීම ආදිය සෑම කෙනෙකුටම කළ නොහැකි බවයි. එම හැකියාව "ව්‍යවසාය හැකියාව" ලෙස හඳුන්වයි.

                        එනම් සම්පත් උපයෝගී කරගෙන නිෂ්පාදනයක්‌ කිරීම, අතරමැදිකරණය, අලෙවිය, මූල්‍ය පාලනය, සේවකයන් පාලනය කිරීම, ව්‍යාපාරයට බලපාන්නා වූ අභ්‍යන්තර හා බාහිර සාධකයන් හඳුනාගෙන ඒවාට සාර්ථකව මුහුණ දීම, අවදානම කළමනාකරණය කරගැනීම ආදී කරුණු විශේෂයෙන් සැලකිල්ලට ගනී. ව්‍යවසායකයෙක්‌ට අධ්‍යාපනය තුළින් ඒ සඳහා අවශ්‍ය පරිසරය සකස්‌ කර ගැනීම කරගත හැකිය.

 රුපියල් කෝටි ගණනින් ප්‍රාග්ධනය යොදා ආරම්භ කරන නව ව්‍යාපාර සුළු කාලයකින් අසාර්ථක වන අවස්‌ථා බොහෝ දක්‌නට ලැබෙන අතර, පදික වේදිකාවක භාණ්‌ඩ විකුණන සුළු වෙළෙන්දෙකු මහා පරිමාණ ව්‍යාපාරයක්‌ දක්‌වා දියුණුවෙන් දියුණුවට පත්වන අවස්‌ථාද නැතුවා නොවේ.

ව්‍යවසාය හැකියාව ඡන්ම පත්‍රයට අනුව තීරණය කළ හැකිය. එම හැකියාව කුමන අංශයකින් ප්‍රතිඵල දායක වන්නේද යන්න තීරණය කළ හැකිය. එනම් ඒ සඳහා සුදුසු කාලය, එනම් ලාභ අලාභ සිදුවන කාලය, ව්‍යාපාරයට බාහිර බලපෑම් ඇතිවන කාලය ආදී යහපත් මෙන්ම අයහපත් කාලපරිච්ඡේදයන් මෙම කේන්ද්‍ර සටහන් මගින් හඳුනාගත හැකිය. මෙම විෂය තුළින් දැනට පවත්වාගෙන යන ව්‍යාපාරයක අවදානම කළමණාකරණය කර ගැනීමටත්, ඉදිරියේදී ආරම්භ කරන ව්‍යාපාරයක්‌ ප්‍රතිඵලදායක ආකාරයට නිර්මාණය කර ගැනීමටත් ඉතා වැදගත් වේ.

මෙහිදී සුළු ස්‌වයං රැකියාවක සිට ජාත්‍යන්තර තලයේ ව්‍යාපාරයක්‌ දක්‌වා "ව්‍යාපාර" යන්න පුළුල් වේ.

 මෙහිදී ව්‍යවසායකත්ව හැකියාව නිර්මාණය කිරීම සඳහා ලග්නාධිපතියාගේ ලග්නයේ බලපෑම, එය ක්‍රියාත්මක වීම, 10 වැන්න හා 10 වැන්නාධිපතියාගෙන් තීරණය කළ යුතු වේ. මෙහිදී පංච මහා පුරුෂ යෝග යෙදී ඇත්නම්, භාවයට අනුරූපව එම යෝගයන් අංශකයෙන් (නවාංශකයෙන්) ප්‍රබලනම් ස්‌ථිර වශයෙන්ම මනා කළමනාකාරී හැකියාවක්‌ පිහිටයි. මෙහිදී ධනය සම්බන්ධයෙන් කියවෙන 2, 11 ග්‍රහ පිහිටීම අධිපතියන් බලවත්ව පිහිටීම තුළ මහා ධනවතෙක්‌ බිහිකරන ව්‍යවසායකයෙක්‌ බිහිවේ. 7 වැන්න, 11 වැන්න හා එම අධිපතින් ප්‍රබල වීම තුළ ව්‍යාපාරය හවුල් පාර්ශවයන් සමඟ කිරීම තුළින්ද, 4 වැන්න 4 වැන්නාධිපතියාගේ පිහිටීම තුළින් (බලවත් වීම) පරම්පරාගත ව්‍යාපාරයකට, එනම් උරුමයෙන් ලැබෙන ව්‍යාපාරයකට හිමිකම් කියයි.

 රවි, කුජ, චන්ද්‍ර නීච වීම හා ඉහත සඳහන් කළ ස්‌ථානයන්හි ධනයට අදාළ ග්‍රහයෙකු ප්‍රබල වීම තුළින් ඔහු තුළ ධනය රැස්‌කිරීමේ ආශාව හා එය ළඟාකර ගැනීමට තිබිය යුතු උපායශීලී බව තිබේ. එසේම ගුරුගේ ප්‍රබලතාව මත කේන්ද්‍ර හිමියා, ව්‍යවසායකයෙක්‌ වුවහොත් දන්දීම, සේවකයන්ට හොඳින් සැලකීම ආදී ධර්මිෂ්ඨ ආකාරයට ව්‍යාපාර කටයුතු සිදුකරයි.

එසේම 12 වැන්නාධිපතියාගේ ප්‍රබලතාව මත ව්‍යාපාරය විදේශයක්‌ සම්බන්ධ කරගෙන සිදුකිරීම තුළින් මහත් ධනයක්‌ ඉපයිය හැකිය. (ආනයන අපනයන) මෙම ව්‍යාපාර කුමන ක්‍ෂේත්‍රය සම්බන්ධව කිරීමට සිදුවේද යන්න ඉහත සඳහන් කළ ග්‍රහයන්ට සමගාමීව ප්‍රකාශ කළ හැකිය.

 එනම් හෝටල්, සංචාරක, ආහාර පාන ආදී ක්‍ෂේත්‍ර සඳහා සඳු, සිකුරු ග්‍රහයන්ද, ඖෂධ, රෝහල්, සනීපාරක්‍ෂක ද්‍රව්‍ය ආදිය සඳහා රවි, සඳු, ගුරු ප්‍රධාන කරගෙනද, ඉදිකිරීම් ක්‍ෂේත්‍රය කුජ, ශනි ප්‍රධාන කරගෙනද, වස විෂ මත්පැන් හා මස්‌ මාංශ සම්බන්ධ ව්‍යාපාර කුජ, රාහු මුල්කරගෙනද, ඇඳුම් පැළඳුම් සුවඳ විලවුන්, මැණික්‌ ස්‌වර්ණාභරණ ආදිය සිකුරු හා ගුරු ග්‍රහයන් මුල්කර ගෙනද අධ්‍යාපනය සඳහා අවශ්‍ය සියලුම දේ සම්බන්ධ ව්‍යාපාර ගුරු, බුධ ග්‍රහයන් මුල්කර ගෙනද, පස්‌, වැලි, ගල්, කාර්මික උපකරණ, දැව ආශ්‍රිත උපකරණ ආදී ව්‍යාපාර කුජ සහ ශනි යන ග්‍රහයන් මුල්කරගෙනද, රථ වාහන, යන්ත්‍ර සූත්‍ර, සම්බන්ධ ව්‍යාපාර සඳහා කුජ ග්‍රහයාද, ඉඩම්, දේපල, නිවාස ආදී සම්බන්ධ ව්‍යාපාර කුජ, ගුරු යන ග්‍රහයන් ප්‍රධාන කරගෙනද, තමාගේ ජන්ම පත්‍රයට ගැලපෙන ව්‍යාපාර අංශය තෝරාගත හැකිය.

ඉහත ග්‍රහයන්ට අදාළව ග්‍රහයන්ගේ භාවය නිශ්චිත කිරීමෙන් හා රාශි, නවාංශකය, නැකත ආදිය සූක්‍ෂ්ම ලෙස පරීක්‍ෂා කිරීම තුළින් (භාව කේන්ද්‍ර සංකල්පය) ඔබට ව්‍යාපාරයක්‌ කිරීමට හැකියාවක්‌ තිබේද?
 එය කුමන ක්‍ෂේත්‍රයකට අදාළද, එසේම දැනට පවත්වාගෙන යන ව්‍යාපාරය සාර්ථක කරගත හැකි ආකාරයත් ඒ සඳහා කළයුතු වත් පිළිවෙත් ආදිය පිළිබඳවත් ජ්‍යෙතිෂයට අනුව තීරණය කළ හැකිය.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment