කේන්දරයේ ලියා ඇති හදිසි ධනලාභ | Gurukam.net - Gurukam.Net

Monday, May 18, 2020

කේන්දරයේ ලියා ඇති හදිසි ධනලාභ | Gurukam.net


 මුදල් පමණක්‌ නොව මූල්‍ය වටිනාකමක්‌ ඇති සියලුම දේ එනම් නිවාස, ඉඩකඩම්, යාන වාහන, මැණික්‌, නිධාන වැනි භූමියෙන් ලැබෙන දේවල්, ලොතරැයි දිනුම් හා ව්‍යාපාර ආදිය හදිසි ධනලාභ ලෙස   හැඳින්විය හැකිය.

ඔබ නොසිතූ අවස්‌ථාවක මෙවැනි වත්කමක්‌ ඔබට ලැබිය හැකිය. නමුත් මෙවැනි වටිනා දෙයක්‌ එකවර ලැබීමට ඔහුට හෝ ඇයට විශාල වාසනා මහිමයක්‌ තිබිය යුතුය. එනම් මෙවැනි හදිසි ධනලාභ ඔබටත් හිමිද යන්න, ඔබගේ ඡන්ම පත්‍රය පරීක්‍ෂා කිරීම තුළින් පැවැසිය හැකිය.මෙහිදී කේන්ද්‍රයක 2, 4, 8, 11 වැන්න යන ස්‌ථානයන් හා භාවයන් පරීක්‍ෂා කළ යුතු අතර, ඉහත භාවයන්ට අනුරූපීව කුමන ආකාරයේ වත්කමක්‌ ලැබෙන්නේද යන්න, තීරණය කළ හැකිය. එහිදී ඉහත ස්‌ථානයන්හි අධිපතියන්, පිහිටි ස්‌ථාන වල ග්‍රහයන් ප්‍රබල වී, බලවත් වී සිටීම (රාශියෙන්, නවාංශකයෙන්, නැකතෙන්, අවස්‌ථාවෙන්) තුලින් ප්‍රකාශ කළ හැකිය.

මෙහිදී ශරීර ග්‍රහයා, ජීව ග්‍රහයා, නවාංශකාධිපතීන් පිළිබඳව පරීක්‍ෂා කළයුතු වේ.තවද රාහුගෙන් යෙදෙන යෝග වලින්ද හදිසි ධනලාභ උදාවෙයි. එනම් 8, 11 ස්‌ථානයක රාහු ප්‍රබලව, බලවත්ව, පිහිටීමෙන්ද මෙම හදිසි ධන යෝග ක්‍රියාත්මක වෙයි. එසේම ඉහත සඳහන් ස්‌ථාන වල පිහිටි ග්‍රහයන්, කවර ග්‍රහයන්ද යන්න පරීක්‍ෂා කර (රවි, කුජ, සිකුරු ආදී) කුමන කාලපරිච්ඡේද වල මෙම හදිසි ධනලාභ ඔබට හිමිවේද යන්න තීරණය කළ හැකිවේ.

ඒ සඳහා දශාව සහ ග්‍රහගෝචරය පදනම් කරගත යුතුවේ.මෙහිදී කුජ, ශනි, මුල්කරගෙන ධන යෝගයක්‌ ක්‍රියාත්මක වන්නේනම් ඔහුට හෝ ඇයට නිවාස, දේපල, යානවාහන හෝ පොළවෙන් ලැබෙන වටිනා සම්පත්, එනම් මැණික්‌, නිධන් වස්‌තු වැනි දැ එකවර ලැබීමේ වාසනාව ඇත. එය යෙදුණු භාවය පදනම් කරගෙන ප්‍රකාශ කළයුතු වේ.

සිකුරු, රාහු මුල්කරගෙන ධනයෝගයක්‌ උදාවේනම්, ලොතරැයි දිනුම්, සූදුව මගින් නොසිතූ අවස්‌ථාවක විශාල මුදලක්‌ එකවර ලැබීමේ වාසනාව ඇත.ගුරු හා බුධ යන ග්‍රහයන් මුල්කරගෙන මෙම ධන යෝගය උදාවේ නම් අතරමැදිකරණයෙන් මුදල් ලැබීම, අන්සතු ධනයක්‌ එකවර ලැබීම හෝ දේපලක්‌ විකුණා එකවර මුදලක්‌ ලැබීම වැනි දෙයක්‌ සිදුවිය හැකිය.

11 වැන්නේ චන්ද්‍රයා ප්‍රබලව පිහිටීම තුළින්, ව්‍යාපාර වලින් හදිසි ධනලාභද, කුජ පිහිටීමෙන් මැණික්‌, මිනිරන් ආදියෙන් හදිසි ධනලාභද හිමිවේ.ඔබට මෙම ධන යෝග ක්‍රියාත්මක වී ධනය කොපමණ ලැබුණද, මෙම ධනය ඔබට කෙසේ කළමනාකරණය කරගත හැකිද යන්න ඔබගේ කේන්දර සටහන අනුව පරීක්‍ෂා කළ හැකිය. තවද මෙම වාසනාවන්ත ග්‍රහපිහිටීම් වලින් ලැබෙන ධනය තුළින් ඔබට යහපතක්‌ සිදුවේද? අයහපතක්‌ සිදුවේද? වාසියක්‌ හෝ අවාසියක්‌ සිදුවේද යන්න තම කේන්ද්‍ර සටහනට අනුව පැවසිය හැකිය.

 එනම් යම් පුද්ගලයකුට මෙවැනි විශාල මුදලක්‌ එකවර ලැබුණු විට එම මුදල් කිසිදු ඵල ප්‍රයෝජනයක්‌ නොමැතිව විනාශ කරගැනීම හා සදාචාරාත්මක නොවන ක්‍රියාවන් වල නිරත වීම (දුරාචාරය, මත්ද්‍රව්‍ය වලට පුරුදුවීම, සූදුව වැනි) සිදුවන අතර, තව කෙනෙකු මෙම මුදල් මනාලෙස කළමනාකරණය කොට, ඵලදායී ආකාරයට යොදාගන්නා අවස්‌ථාද දැකගත හැකිය.

මෙහිදී 12 වැන්නේ පිහිටි ග්‍රහපිහිටීම, 12 වැන්නාධිපතිගේ පිහිටීම වැනි කාරණා පරීක්‍ෂා කර, මෙම ධනය ඔබට කොතරම්දුරට ආරක්‍ෂා කර තබාගත හැකිද යන්න තීරණය කළ හැකිය.

තවද මෙම යෝග දුටුපමණින් ඒවා ක්‍රියාත්මක වන බව පැවසිය නොහැකි අතර, සමස්‌ත ග්‍රහපිහිටීම පරීක්‍ෂා කර බලා එහි ඵලදීම නිගමනය කළයුතු වේ.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment