ජීවන අංක 4 උපන් වියදම් කිරීමට රුසියෝ | Gurukam.net - Gurukam.Net

Saturday, May 2, 2020

ජීවන අංක 4 උපන් වියදම් කිරීමට රුසියෝ | Gurukam.net


අංක විද්‍යාවේ මූලාරම්භය සිදුව ඇත්තේ භාරත දේශයේදී බැවින් අපද පෙරදිග අංක විද්‍යාවට අනුව අංක 04 රාහුට හිමිකර දෙමු. ඕනෑම මාසයක 04, 13, 22 සහ 31 යන දිනයන්හි උපත ලද ඔබගේ ජීවන අංකය වන්නේ අංක 04 ය. අංක විද්‍යාවේදී අංක 04 අයත් වන්නේ රාහු ග්‍රහයාටය.

පෙරදිගදී එසේ පැවසුවද බටහිර අංක විද්‍යාඥයෝ පවසා ඇත්තේ අංක 04 යුරේනස්‌ ග්‍රහයාට අයිති බවය. රාහු පිළිබඳව ජ්‍යොතිෂයේ හඳුන්වනුයේ කල්පිත ග්‍රහයෙකු ලෙසය. නමුත් රාහුගෙන් මනුෂ්‍යයාට සිදුවන බලපෑම අතිමහත්ය. මනුෂ්‍යයා ප්‍රකට භාවයට පැමිණ වීමට රාහු ග්‍රහයාට පුළුවන. එසේ වනුයේ කේන්දරයේ රාහු යහපත් අන්දමින් පිහිටීමෙනි.

රාහු උසස්‌ ලෙස පිහිටීමෙන් ධනය, වස්‌තුව, ඉඩකඩම්, ලොතරැයි ලාභ, විදේශ ගමන් ද එමගින් දියුණුව ද ලබා දෙන බව සත්‍යයකි.නිතර මත් ගතියෙන් සිටීමට කැමැති රාහු, මත්පැන් බීමට මෙන්ම මත්ද්‍රව්‍ය පාවිච්චියට ද ලොල් කරවන අතර දුම්පානයට ද ප්‍රියත්වයක්‌ දක්‌වයි. අසුරයන්ගේ රජු වන රාහුගේ මෙම නිසග ගතිය හේතුකොට ගෙන දරුණු ව්‍යසනවලට ජන්මියා ලක්‌ කරවන බව ද රහසක්‌ නොවේ.

 කඩාකප්පල්කාරී වැඩට රාහු දක්‌වනුයේ පුදුමාකාර දක්‌ෂතාවයකි. සියලුම කටයුතු කණපිට හරවන රාහු, දුෂ්ඨයකු ලෙස හැඳින්වීමට සෘෂිහු පුරුදුව සිටියහ. කෙතරම් ධනය රැස්‌ කළද, ඒවා රඳවා තබා ගැනීමට රාහු ඉඩ දෙන්නේ නැත. කවර ක්‍රමයකින් හෝ ඒවා වියදම් කරවීම රාහුගේ සිරිතය. එමෙන්ම හොඳට පිහිටන ලද රාහු ජන්මියාට ලොතරැයි දිනුම් පවා ලබාදී ජන්මියා පොහොසතකු බවට පත් කරවන අතර රට රාජ්‍යවල පවා ඇවිදීමට අවස්‌ථාව සලසා දෙනුයේ තම මහ දශාව තුළදීය.

 ජීවන අංක 04 න් උපත ලද ඔබ තුළද රාහුගේ ඉහත කී ගතිගුණ බොහෝ දුරට පිහිටන්නට ඉඩ ඇත. එමෙන්ම නව නිපැයුම් හා අලුත් අලුත් දේ සොයා යැමේ ආශාවක්‌ ද ඔබ තුළ ජනිත කරවීමට රාහු සමත් වන බව අවිවාදයෙන් පැවසීමට පුළුවන. ඒ නිසාම කදිම නිර්මාණ ශක්‌තියක්‌ ඔබට උපතින්ම දායාද වනු ඇත.

 රාහුට අයත් ජීවන අංක 04 න් උපත ලද ඔබ සාමාන්‍ය තත්ත්වයට වඩා අසාමාන්‍ය වූත්, අසම්මත වූත් හැසිරීම් රටාවකට අනුගත වෙමින් ක්‍රියා කරන්නට බොහෝ දුරට ඉඩ ඇත. අන් අයෙකු යම් දෙයක්‌ දකින ආකාරයට වඩා වෙනස්‌ කෝණයකින් එම දෙය දකින්නෙකු ලෙස ඔබව හඳුන්වා දිය හැක. ඔබගේ ඇදහිලි ක්‍රම ද ඔබටම ආවේණික වූ ඒවා වන අතර අන් අයගේ ක්‍රමවලට වඩා පටහැනි වීමට ඉඩ තිබේ.

ඒ නිසාම සමහර අවස්‌ථාවලදී ඔබගේ ක්‍රියා කලාපයන් හා අදහස්‌ ද තත්කාලීන සමාජය නොපිළිගන්නට බොහෝ දුරට ඉඩ ඇත.

 ඔබගේ වරදින් ඔබ රහස්‌ සතුරන් ඇතිකර ගන්නා බව පෙනේ. අන්‍යයන්ව උපහාසයට ලක්‌ කිරීමෙන් ඔබ ආත්මීය සතුටක්‌ භූක්‌ති විඳින්නෙකු වන අතර එමගින් අනුන්ගේ සිත් රිදවීමෙන් සතුරු කරදර ඇති කර ගනී. එය රහසිගත වෛරයක්‌ ලෙසින් ඔබ පසුපස එනු ඇත.

 ජීවිතයේ සමහර අවස්‌ථාවලදී ඔබ බලාපොරොත්තු නොවූ අන්දමේ සිදුවීම්වලට මුහුණපෑමට ඔබට සිදුවනු ඇත. ඔබගේ අසම්මත හැසිරීම්, ඇඳුම් පැළඳුම්, කතාබහ හේතුවෙන් ඔබ සමඟ සිටින බොහෝ අය කම්පනයට පත් වන අතර ඔබව වැරදි අයුරින් තේරුම් ගැනීමට ද ඔවුන් මැලිවන්නේ නැත.

 ඔබට මනා ඉවක්‌ ඇත. එය ඔබ සතු කදිම බුද්ධි මහිමය නිසා ලද ආත්මීය දායාදයකි. අනාගතයේ සිදුවන බොහෝ දේ ඔබට ඉවෙන් මෙන් කලින් දැනෙන ගතියක්‌ ඇත. එමෙන්ම ඔබ සතු නිසඟ පුරුදු හා ප්‍රියත්වයන් වෙනස්‌ කිරීමට ඔබ කිසිසේත් කැමැති නැත. ඒ තරමටම ඒවා ඔබේ ආත්මය තුළට කිබැස ඇති අතර ඒවා වෙනස්‌ කරන්නට උත්සාහ දරන්නන් කෙරෙහි ඔබ තුළ ඇති වන්නේ මහත් වෛරයකි. ඒ නිසාම ඔබ දැඩි මුරණ්‌ඩු බවක්‌ පෙන්වීමට ඉඩ තිබේ.

 ඔබගේ පවුල් සංස්‌ථාව තුළම ඔබට අර්බුද රැසකට මුහුණදීමට සිදුවන අතර ඒ නිසා දැඩි සිත්තැවුල් ඇති වීමට ඉඩ ඇත. ඔබ සිය පවුල පිළිබඳව ඉතා උසස්‌ අයුරින් සිතන්නෙකි. ඒ බව ඔබගේ පවුලේ සාමාජිකයන් ද හො¹කාරව දනී.

ඒ නිසා ඔබගෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට ඔවුන් නිතර උත්සාහ කරයි. එබැවින් මෙම තත්ත්වය පාලනය කර ගැනීමට ඔබ සිතට ගත යුතුය. වැඩි කාලයක්‌ පවුලේ අය සමඟ ගත කිරීමට ඔබ තුළ ඇත්තේ බලවත් කැමැත්තක්‌ බවද අමුතුවෙන් කිව යුතු නොවේ.

 ඔබගේ යුග දිවිය සාර්ථක කර ගැනීමට ඔබ උත්සාහ කළ යුතු බව මගේ හැඟීමයි. ඒ සඳහා ඔබ කළ යුතු වන්නේ ඉතාම බුද්ධිමත් සහකාරියක හෝ සහකාරයකු ජීවිතයට එක්‌ කර ගැනීමට වග බලා ගැනීමය. මා එසේ පවසනුයේ ජීවන අංක 04 න් උපත ලද බොහෝ දෙනකුගේ විවාහ ජීවිත අකාලයේ බිඳ වැටී ඇති බැවිනි.

 ජීවන අංක 04 න් උපත ලද ඔබ ගුප්ත ගතිගුණවලින් හෙබියා වූ රහසිගත ජීවිතය ප්‍රිය කරන්නා වූ අයෙකි. පහසුවෙන් මිතුරන් ළංකර නොගන්නා ඔබ ඔවුන් පිළිබඳව ඇත්තේ අල්ප විශ්වාසයකි. තම නිවසට මිතුරන් ගෙන්වා ගැනීමට ඔබ තුළ වැඩි කැමැත්තක්‌ නැති බව ඉඳුරා ප්‍රකාශ කළ හැක. ඔබ ඔබටම ආවේණික වූ හුදකලා දිවියක රසය විඳීමට වඩාත් ප්‍රිය කරන අතර මුදල් සොයන ආකාරයත්, එයින් ප්‍රයෝජන ගන්නා ආකාරයත් ගැන නිතර මනෝ මන්දිර ඉදිකරනු ලබන්නේ කිසිවෙකුටත් නොදැනෙන අයුරිනි.

 ජීවන අංක 04 න් උපන් ඔබ ව්‍යාපාරිකයකු වීමට අදහස්‌ කරන්නේ නම් හෝ කිසියම් ව්‍යාපාරයක කොටස්‌කරුවකු වීමට සිතන්නේ නම් ඔබ තරමක්‌ දුරට ප්‍රවේශම් විය යුතුය. නැති නම් අඩු තරමේ දෙපාරක්‌වත් ඒ පිළිබඳව සිතීමට අවශ්‍ය බව අමතක නොකරන්න. එසේ නොමැති වුවහොත් ඔබට බොහෝ පාඩු සිදු වීමට ඉඩ ඇත. ව්‍යාපාරද බිඳ වැටීමට ඉඩ තිබේ. මන්ද "මුදල් පාලනය" යනු ඔබගේ දුර්වලම අංශයයි. ඔබ ඉපැයීමට දක්‌ෂ වුවද, වියදම් කිරීමේදී ඒ දක්‌ෂකම ඔබගෙන් දැකගත නොහැක.

 වියදම් කරන අවස්‌ථාවේදී සුපිරි ධනවතුන් පරයන විලසින් ඔබ ධනය වියදම් කරයි. එයින් අන් අය විස්‌මයට පත්වනු නොඅනුමානය. ජීවිතයේ පසුකාලයේදී ගෞරව සම්මාන ආදියෙන් පිදුම් ලැබීමට එයද හේතුවක්‌ වනු ඇත. ඔබ තුළ පිහිටන ලද සුවිශේෂිතම ලක්‌ෂණය වනුයේ "ඉවසීමය." එය ඔබ සතු යහපත් ගුණාංගයක්‌ ලෙස පෙන්වා දිය හැක. ඔබ ජීවත් වන සමාජ ස්‌ථරය තුළින් ද ඔබ එයම බලාපොරොත්තු වෙයි. ඔබට වඩාත්ම ගැලපෙන රැකියා වන්නේ ඔබගේ ශරීරයේ උසට හා සිරුරේ ශක්‌තියට අනුරූප වන අන්දමේ රැකියාවන් බව අමතක නොකරන්න.

 සෑම වසරකම මාර්තු 21 සිට අප්‍රේල් 21 දක්‌වාද, ජුලි මස 15 සිට අගෝස්‌තු 15 දක්‌වා කාලයද ඔබට ශුභඵල ගෙන දෙනු ඇත. එමෙන්ම සඳුදා, සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා යන දිනයන් ඔබට වාසනාව ගෙන දෙන අතර සෑම මසකම 04, 13, 22 සහ 31 යන දිනයන් ඔබට ජයග්‍රහණ ගෙන දෙනු ඇත. ජීවන අංක 04 න් උපත ලද ඔබගේ ශුභ වර්ණ වන්නේ නිල්, කළු සහ අළු පැහැයන්ය.

  විෂ්ණු දෙවියන්ට හා හනුමාන් දෙවියන්ට පුද පූජා පැවැත්වීමෙන්, භාරහාර වීමෙන් ඔබට යහපත උදාකරගත හැක. විශේෂයෙන් නිල් පැහැති ලේන්සුවක්‌ නිතර ළඟ තබාගෙන පාවිච්චි කිරීමෙන් අපල දුරු වී වාසනාව උදාවනු නොඅනුමානය.

 හෘද රෝග (අඩු වැඩි රුධිර පීඩන තත්ත්වයන්) රක්‌ත හීනතාවය නිසා ඇති වන රෝග, මානසික ආතතිය, නින්ද නොයැම, මුත්‍රා රෝග හා වකුගඩු ආදී රෝග ඔබට වැළඳීමේ වැඩි ප්‍රවණතාවක්‌ ඇත. මාංශ භක්‌ෂණයෙන් තොර වීමෙන් ඉහත කී රෝග තත්ත්වයන් වළක්‌වා ගත හැකිය.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment